කොවිඩ් හමුවේ වුවත් නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝගවලට ජය

(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ්-19 වසංගතය හමුවේ වුවද 2021 වර්ෂය තුළ නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝග ජයගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

2022 වර්ෂය සඳහා අමාත්‍යාංශයේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම ඊයේ(05)බත්තරමුල්ල සුහුරුපාය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

2022 වර්ෂයේ දී නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රයට පැමිණෙන අභියෝගවලට මුහුණ දීමට ද සුදානම් බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී අවධාරණය කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ හතරක් ක්‍රියාත්මක වන අතර නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඊට අයත් වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් මෙහි දී අමාත්‍යාංශය 2021 වර්ෂයේ තුළ පෙන්නුම් කළ ප්‍රගතිය හා 2022 වර්ෂයේ වැඩ සැලැස්ම ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව එක් එක් රාජ්‍ය අමාත්‍යාංශ නියෝජනය කරමින් රාජ්‍ය ආමාත්‍යාංශ ලේකම්වරු 2022 වර්ෂයේ යෝජිත වැඩ සැලැස්ම අග්‍රාමාත්‍යතුමා හමුවේ ඉදිරිපත් කළහ.

ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති අබේවර්ධන මහතා අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ නිවාස 20,000ක සංඛ්‍යාවෙන් 15,000ක දැනටමත් අඩු අදායම්ලාභීන් පදිංචි කර ඇතැයි පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය රට පුරා ක්‍රියාත්මක ශාඛා 18ක් ඔස්සේ සාධාරණ මිලට පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දීමට හැකියාව ලැබී ඇතැයි ද හෙතම කියා සිටියේය.

අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා අදහස් පළ කරමින් සියක් නගර ව්‍යාපෘතියේ වැඩකටයුතු සියයට 70ක් දැනටමත් අවසන් කර ඇති බවත් නව අය-වැය යෝජනා යටතේ තවත් නගර 118ක් සංවර්ධනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක බවත් සඳහන් කළේය.

එමෙන්ම කිසිදා සංවර්ධනය නොවු නගර මෙන්ම ගම්බද ප්‍රදේශ සංවර්ධනය සඳහා විශේෂ සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරියට ක්‍රියාත්මකවන බව හෙතම විශ්වාසය පළ කළේය.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා අදහස් පළ කරමින් වතු නිවාස 10,000 වැඩසටහන මෙන්ම ඉන්දු ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ නව නිවාස 900ක් ලබාදීමේ වැඩසටහන දැනට සාර්ථකව ක්‍රියාත්මක බව කියා සිටියේය.

වතුකරයේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම මෙන්ම වතු නිවාසවල ජීවත්වන නමුත් මේ දක්වා ඒවායේ නිත්‍යානුකූල අයිතියක් නොමැති පවුල් සඳහා එම අයිතිය ලබා දීමට රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව මෙහිදී අනාවරණය විය.

වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ විජේසිරි මහතා මෙහි දී පෙන්වා දුන්නේ සාගරයට සිදුවන හානි අවම කිරීම වෙනුවෙන් වෙරළ සංරක්ෂණ කළමනාකරණ මධ්‍යස්ථානයක් අලුතින් පිහිටුවීමට අවධානය යොමුව ඇති බවයි.

කුලී පදනම මත සිටිමින් එම නිවාසවල අයිතිය හිමිවන කුලී සින්න නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර ඇති බවත් මහල් නිවාස හිමිකම් ඔප්පු නොමැති පවුල් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ එම ඔප්පු 10,000ක් ලබා දීම වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක වන බවත් මෙහි දී අනාවරණය විය.

ඉලක්කගත අභියෝග ජයගැනීම වෙනුවෙන් කැප වූ අමාත්‍යාංශයේ සියලු නිලධාරී මහත්ම මහත්මීන් හා සේවක සේවිකාවන්ට අග්‍රාමාත්‍යතුමා මෙහි දී සිය ප්‍රණාමය පුද කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා,ඉන්දික අනුරුද්ධ, ජීවන් තොන්ඩමන්, මොහාන් පී ද සිල්වා, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරි නිමල් පෙරේරා, අතිරේක ලේකම් එම්.එම්.එස්.එස්.බී යාලේගම, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්වන ඉංජිනේරු කීර්ති අබේවර්ධන, ඩී.පී.ජී කුමාරසිරි, එල්.එල්.ඒ විජේසිරි මහත්වරු සහ ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *