ලොව පුරා රටවල් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන තැනට

(ලංකාපුවත් | කොළඹ) –ලොව පුරා රටවල් 194ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට ඊයේ වන විට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා පවසයි.

රටෙහි සාර්ථක එන්නත්කරණය තුලින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇති බවත් එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළම ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකෙරෙන නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම නිමිත්තෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ඊයේ (12) පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර යන මහත්වරුන් විසින් මෙම ගිවිසුම අත්සන් කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, ඖෂධ නිෂ්පාදනය ,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදනය ,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.

නාගරික සංවර්ධන අධිකාරියේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 65 ක භූමි ප්‍රමාණයක මෙම කර්මාන්තශාලා ඉදිකිරීම ආරම්භ කෙරේ.

පිළිකා ඖෂධ, විකලාංග උපාංග/ ඖෂධ හා සාමන්‍ය පෙති කරල් ඖෂධ මෙම කර්මාන්තශාලා මගින් නිෂ්පාදනය කිරීමට සැලැසුම් කෙරේ. මින් සාමාන්‍ය පෙති කරල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාව වසර දෙක හමාරක් තුළ ඉදිකර අවසන් කිරීමට මෙන්ම අනෙක් කර්මාන්තශාලා වසර දෙකක් තුළ අවසන් කිරීමට සැලැසුම් කර තිබේ.

මෙම කර්මාන්තශාලා ඉදි කිරීමෙන් මෙරට සමස්ත ඖෂධ හා වෛද්‍ය උපකරණ වල අවශ්‍යතාවයෙන් 10% – 12% ත් අතර ප්‍රමාණයක් සපුරා ගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන් ඉතා මිල අධික විකලාංග උපාංග මෙම කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කෙරෙන අතර ජර්මනිය , ස්විට්සර්ලන්තය වැනි රටවලින් රුපියල් බිලියන ගණනින් මුදල් වැයකර ඒවා මේ වනවිට මෙරටට ගෙන්වනු ලැබේ. එමෙන්ම පිළිකා ඖෂධ සඳහාද මේ වන විට ඉහළ වියදමක් දරන අතර නව කර්මාන්තශාලාවන් ආරම්භ කිරීමෙන් විශාල විදේශ විනිමයක් ඉතිරි කරගත හැකි වේ. නව කර්මාන්තශාලා ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට යටත්ව යුරෝපානු ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *