(ලංකාපුවත් | කොළඹ) – පෙට්රල්වල ප්‍රමිතිය ඔක්ටේන් 92 සිට ඔක්ටේන් 91 දක්වා බාල කර ඇති බවට කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය, ජනතාව නොමඟ යවන ප්‍රබන්ධයක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.
ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ මාධ්‍ය මඟින් විවිධ පුද්ගලයන් ප්‍රකාශ සිදු කළත් මෙතෙක් එකම පැමිණිල්ලක්වත් පාරිභෝගික සේවා අංශයට ලැබී නැති බවත් එවන් ගැටලුවක් තිබේ නම් 011-5455130 දුරකතන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවත් සුමිත් විජේසිංහ මහතා අවධාරණය කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බාල පෙට්‍රල් නිකුත් කරන බවට සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපතිවරයා මෙසේද කීය.
“ඔක්ටේන් 92 පෙට්රල්වල ප්‍රමිතිය ඔක්ටේන් 91 දක්වා බාල කර ඇති බවට කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය, ජනතාව නොමඟ යවන ප්‍රබන්ධයක්. 2014 වසරට පෙර අපි සැපයුවේ ඔක්ටේන් 90 පෙට්‍රල්. තාක්ෂණික කමිටුවක් මඟින් 2014දී තීන්දු කළා එය 92 දක්වා දියුණු කිරීමට. ඊට ප්‍රධානතම හේතුව වුණේ අපේ පිරිපහදුවේ නිෂ්පාදනය කළේ ඔක්ටේන් 92. අපි සෑම ටෙන්ඩරයක්ම කැඳවන්නේ ඔක්ටේන් 92 සඳහායි. ටෙන්ඩරයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් දීම සැපයුම්කරුවන්ගේ වගකීමක්.
“ඕනෑම ඉන්ධන වර්ගයක් ආනයනය කරන විට ඉන්ධන නැව්ගත කරන ස්ථානයේදී ස්වාධීන පරීක්ෂකවරයකු විසින් සාම්පල පරීක්ෂා කර නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට වාර්තාවක් සපයනවා. එම ඉන්ධන තොග ගොඩ බෑමට කලින් නැවට ගිහින් ගන්නා සාම්පල කොලොන්නාවේ සහ සපුගස්කන්ද යන රසායනාගාර දෙකක පරීක්ෂා කරනවා. නියමිත ප්‍රමිතිය තහවුරු වූ පසුව තමයි එම ඉන්ධන කොලොන්නාව සහ මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ ගබඩා කරන්නේ. එම තොග බෙදා හැරීමට පෙර හැමදාම උදේට සාම්පලයක් පරීක්ෂා කරනවා. ඒ අනුව තෙල් නිකුත් කිරීමට පෙර අවස්ථා තුනකදී ප්‍රමිතිය පිළිබඳ රසායනාගාර පරීක්ෂණ සිදු කරනවා. සංස්ථාවේ ඉන්ධන ප්‍රමිතියෙන් තොරයි කියන වගකීම් විරහිත ප්‍රකාශය කුමන්ත්රණකාරී ක්‍රියාවක්ද කියා අපි සොයා බලනවා. මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.