ඩොලර් අර්බුදය දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට ආශිර්වාදයක්

(ලංකාපුවත් | කොළඹ) – රටේ මේ වනවිට පවතින ඩොලර් හිඟය දේශිය නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ආශිර්වාදයක් කර ගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ඩොලර් හිඟ නිසා දිවයිනට ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සියල්ල නතර වන බවද ආණ්ඩුකාරවරිය කිවාය. කන්තලේ විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ ඉදිකළ නව CO-OP FRESH අළෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ ද පැවසුවාය.

“අපි අද ඩොලර් අර්බුදයක් ගැන කතා කරනවා. 1977 ඉදන් හැමදාම අපි ණයට අරගෙන ණයට කනවා. රටක් විදිහට දිගින් දිගටම අපි කළේ ඒක. දැන් මේ ඩොලර් අර්බුදය නිසා අපි ආනයනය කරන්නේ අත්‍යවශ්‍ය දේ පමණයි. අනවශ්‍ය දේවල් ආනයනය නොකරන නිසා ඒ වෙනුවට ඇති අපේ දේශිය නිෂ්පාදන දියුණු කර ගන්න අවශ්‍යයි. මම ඒක දකින්නේ ආශිර්වාදයක් හැටියටයි. වත්මන් රජයේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ කටයුතු වලට කෝවිඩ් වසංගතය බලපෑවා .ඒ බලපෑම ලෝකේ හැම රටකටම තිබුණා. හැබැයි උද්ඝෝෂණ තිබුණේ අපේ රටේ විතරයි. මේ වසංගතයට රජයක් පළි නැහැ.

ඒ වගේම තමයි කොවිඩ් වසංගතයෙන් රට වහපු වෙලාවේ සමූපකාර ක්ෂේත්‍රය වටිනා සේවයක් කළා අපේ පළාතේ සෑම සමුපකාර සමිතියක්ම ජංගම රථ යොදා ගෙන සහනදායි බඩු මලු ජනතාව ළගටම ගෙනිහින් දුන්නා. මේ වෙළදසැල් ජාලාව තවදුරටත් පුළුල් කරලා අපේ නැවුම් දේශිය නිෂ්පාදන අළෙවි කරන්න අවශ්‍යයි. විදේස් රට වලින් ආනයනය කරන පරණ බඩු විකුණන එක නෙමෙයි අපි කළ යුත්තේ. අපේ ජනතාවගේ නැවුම් දේශිය නිෂ්පාදන වලට මුල් තැනක් දෙන එකයි.” යැයි ද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.

මේ අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කලාමදී පද්මරාජා, පළාත් සමූපකාර කොමසාරිස් ඒ.එල්. එම්. අස්මි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *