(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් මර්දන එන්නත් ගැනීමෙන් ලිංගික ගැටලු ඇති වන බවට කිසිදු පරීක්ෂණයකින් මෙතෙක් ඔප්පු කර නැති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ පළමු සභාපති, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වී.ජේ.සී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
එන්නත ගත් හා නොගත් පිරිසක් යොදා ගනිමින් කෘත්‍රීම ගැබ් ගැන්වීම් සිදු කරමින් කළ අමෙරිකානු පර්යේෂණයකින් හෙළිව ඇත්තේ කිසිදු ගැටලුවක් ඇති නොවන බව යැයි ද ඒ මහතා කීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (07) කීය.
පුරුෂයන්ගේ ශුක්‍රාණු සම්බන්ධයෙන් කළ පර්යේෂණයකින් ද සොයාගෙන ඇත්තේ එන්නත ගත් හා නොගත් පුද්ගලයන්ගේ ශුක්‍රාණුවල කිසිදු වෙනසක් නොමැති බවත් තරුණ පිරිමි දරුවන්ට මෙම ගැටලුව ඇති වන බවට මිථ්‍යා මතයක් ව්‍යාප්තව ඇති අතර එහි කිසිදු පදනමක් නොමැති බවත් ඒ මහතා කීය.
බූස්ටර් මාත්‍රාව නොගැනීම අපේම මරණයට අත වැනීමක් යැයි ද, ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පළමු එන්නත් මාත්‍රා දෙක ලබා ගත් පුද්ගලයන් බියකින් තොරව බූස්ටර් මාත්‍රාව ගැනීම වැදගත් යැයි ද ඒ මහතා පැවැසුවේය.
කොවිඩ් ආසාදිත සියයට 80ක් 90ක් දරුවන්ට රෝග ලක්ෂණ මතු නොවන බවත් රෝග ලක්ෂණ මතු නොවුණත් ඔවුන්ගෙන් ව්‍යාප්ත වීමේ අඩුවක් නොමැති බවත් ඒ මහතා පැවැසුවේය.
දරුවන්ගේ පෙණහලු, හෘදය, වකුගඩුවලට මෙම වයිරසයෙන් බලපෑමක් වෙන බවත් එන්නත් ලබා ගත් දරුවන්ට රෝගය උත්සන්න වීම සහ මරණ අඩු වීමක් සිදු වෙන බවත් හෙතෙම පැවැසීය.
වයිරසය ආසාදනය වුවත් රෝගය දරුණු තත්ත්වයට පැමිණීම සහ අතුරු ආබාධ ඇතිවීම කොවිඩ් මර්දන එන්නත් ගැනීමෙන් වළක්වා ගත හැකි යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් සම්බන්ධයෙන් වැඩිපුර පරීක්ෂණ සිදු කර ඇතැයි ද, කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමෙන් සියයට 90ක් මරණ වළක්වා ගත හැකි යැයි ද ඒ මහතා පැවැසුවේය.
මාත්‍රා 50,000ක් ලබා දුන් විට ගැටලුවක් ඇති වනුයේ එක් අයෙකුට බවට පරීක්ෂණ වාර්තාවලින් හෙළිව ඇතැයි ද, නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් වැඩිපුර මේ වයිරස් ආසාදනයට ලක්ව මරණයට පත්වීමේ සම්භාවිතාව ඉහළ නිසා නිදන්ගත රෝගවලින් පෙළෙන අයට එන්නත් දීමට ප්‍රමුඛතාව දුන්නේ යැයි ද ඔහු පැවසුවේය.