(කොළඹ, ලංකාපුවත්) –භූ සම්පත් කළමනාකරණය සම්බන්ධව ජනාධිපති කාර්ය සාධක බලකායේ කාර්ය සංග්‍රහය අනුව හරිත වැලි මංකඩ ක්‍රමය නැවත හෙට (01) සිට අරඹන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.
ගංගා තුළට ඝෘජුවම ට්‍රැක්ටර් යොදා ගනිමින් සිදු කරන වැලි ගොඩදැමීම හේතුවෙන් ගංගා ඉවුරුවලට සිදුවන දැඩි හානිය වළක්වා ගැනීම, ගංගා ඉවුරු සංරක්ෂණය හා තිරසරව වැලි ඉවත් කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මාර්තු 01 දින සිට හරිත වැලි මංකඩ ක්‍රමය යළි අරඹන ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දෙනු ලැබීය.
පරිසර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි හෙට සිට නැවතත් හරිත වැලි තොටුපොළ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට එම කාර්යාංශය සැලසුම් කර තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හරිත වැලි මංකඩ මෙහෙයුම් කාර්යාලය සමග සම්බන්ධීකරණය පවත්වා ගනිමින් එම කටයුතුවලට ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලෙස ප්‍රධාන කාර්යාලය විසින් සියලුම දිස්ත්‍රික් කාර්යාල ප්‍රධානීන්හට දැනුම් දී තිබේ.
හරිත වැලි තොටුපොළ ක්‍රමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික කමිටු රැස්වීම පැවැති අතර එහිදී අමාත්‍ය මහින්ද අ මරවීර මහතා මෙම අදහස් පළ කළේය.
‘හරිත වැලි තොටුපොළ සංකල්පය අනුව ගංගාවත්, ගංගා ඉවුරත් අවට පරිසරයත් සුරක්ෂිත වෙනවා. මේ ක්‍රමය යටතේදී ගංගාවේදී සිට ගං ඉවුරේ අඩි 10 පමණ ප්‍රදේශයක් හරිත කලාපය ලෙස නම් කළ යුතුයි. එම කොටස තුළ රුක්රෝපණය කර දැකුම්කළු ආකර්ශණීය ස්ථානයක් බවට පත් කළ යුතුයි. . වැලි තොටුපොළට ගමන් කිරීම සඳහා අඩි 03ක පමණ පටු පාරක් ඉතුරු කරනවා. දැන් ගංගාවලට ට්‍රැක්ටර් ඇතුල් කිරීම නිසා ගංගා ඉවුරට දැඩි ලෙස හානි සිදුවුවත් මේ ක්‍රමය නිසා ගංගාවට ට්‍රැක්ටර් බස්සවන්න බෑ. ඒක නීතිවිරෝධීයි.
වැලි ගොඩදැමීම සිදුකළ යුත්තේ නිසි ප්රමිතියකටයි. එහිදී වැලි ඉවත් කිරීමට යොදා ගත යුත්තේ වැලි කූඩායි. ඒවා කූඩ යොදා ගෙන අඩි 10 සීමාව ඉක්මවන තෙක් වැලි රැගෙන ආ යුතුයි. ඉන්පසු විල්බැරෝවක් මගින් වැලි පටවන ස්ථානයට ගෙන ආ යුතුයි. වැලි ගොඩදැමීම සඳහා යොදා ගන්නා බෝට්ටු, එන්ජින් රහිත බෝට්ටු යොදා ගත යුතුයි. මාර්තු 01 දින සිට ම හරිත වැලිතොටුපොළ සංකල්පය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුයි. ඒ වගේම ඉදිරියේදී හරිත වැලි තොටුපොළ සංකල්පය ක්‍රියාත්මක කිරීම උල්ලංඝනය කරන පුද්ගලයින්ට වැලි බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නේ නෑ. එසේ නොකරන අයගේ බලපත්‍ර අහෝසි කිරීමත් හරිත වැලි තොටුපොළ ක්‍රමයේදී සිදු කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.