රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල තීරණ නිසා රාජ්‍ය මුදල්වලට විශාල ව්‍යසනයක් – කෝප් කමිටු

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරන නිලධාරීන් විසින් කලින් කලට ගනු ලබන තීරණ නිසා රාජ්‍ය මුදල් වලට විශාල ව්‍යසනයක් සිදු වන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා ඊයේ (10) ‍පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය.

සංවර්ධන ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන් පටිගත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 38.75ක් වැය කර ඉදිකරන ලද චිත්‍රාගාරය අපේක්ෂිත අරමුණ වෙනුවෙන් 2015 සිට මේ දක්වාම භාවිත නොකිරීම පිළිබඳව මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය. එයට අමතරව අදාළ කාලය තුළ උක්ත අරමුණ සඳහා ම එනම් වැඩසටහන් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන 2146.82 ගෙවා තිබීම සම්බන්ධවද කමිටුව විසින් විමසන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සහන මිලකට පටිගත කිරීම් සිදු කරන බැවින් මෙම චිත්‍රාගාරය අනවශ්‍ය බවත් එය ශ්‍රවණාගාරයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේ එක් එක් සභාපතිවරුන් හෝ අධ්‍යක්ෂ මණ්ඩල වලට අවශ්‍ය පරිදි මෙවැනි ව්‍යාපෘතීන් ආරම්භ කිරීම මගින් විශාල මුදලක් අවභාවිත වන බව සහ එවැනි ව්‍යාපෘති විධිමත්ව සංයුක්ත සැලැස්මකට ඇතුළත් කොට ක්‍රියාත්මක කළයුතු බවයි. මේ පිළිබඳ විධිමත් වාර්තාවක් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කමිටුව වෙත එවන ලෙසද සභාපතිවරයා දන්වා සිටියේය.

එයට අමතරව වොක්ෂෝල් වීදියේ අංක 234 දරන ගොඩනැගිල්ල කුලී පදනම මත මණ්ඩලය වෙත ලබා ගැනීම සඳහා එළඹ තිබූ ගිවිසුම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඒක පාර්ශවිකව කඩ කිරීම නිසා මණ්ඩලයට අය විය යුතු රුපියල් 5,700,000ක මුදලක් වර්ෂ 14ක් මුළුල්ලේ අයකර ගැනීමට නොහැකි වී තිබීම සම්බන්ධවද කමිටුවේ අවධානය යොමු විය.

එහිදී මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින අවස්ථාවේදී ඉහත සඳහන් ගොඩනැගිල්ල වෙළඳ අමාත්‍යාංශය විසින් කුලී පදනම මත ලබාගෙන තිබූ බවත් සිය මණ්ඩලයට ගොඩනැගිල්ලක් අවශ්‍යව තිබූ බැවින් උක්ත ගොඩනැගිල්ල ලබා ගන්නා ලෙස අමාත්‍යාංශය දැනුම් දී තිබූ බවත්ය. ඒ අනුව අමාත්‍යාංශයේ අතුරු බදු දීම යටතේ මෙම ගොඩනැගිල්ල සමග ගිවිසුම් අත්සන් කළ බවද නිලධාරීහු සඳහන් කළහ. මෙම ගොඩනැගිල්ල මණ්ඩලය විසින් භාවිතයට ගැනීමේදී තවත් විශාල මුදලක් වැයවන නිසා එය අවලංගු කිරිම සිදු කළ බවත් ගොඩනැගිල්ල වෙනුවෙන් මූලික ගෙවීම් සිදු කරන ලද්දේ වෙළඳ අමාත්‍යාශය වෙත බවද මෙහිදී අනාවරණය විය.ඒ අනුව අදාල මුදල ලබා ගැනිම සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් නිරීක්ෂණ ඉල්ලා ඇති අතර අමාතයාංශ ලේකම්වරයා විසින් ඒ සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශද මේ වන විට ලැබී ඇති බවද සඳහන් විය.

2015 මැයි 25 දිනැති අංක පී ඊ ඩී/01/2015 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රගේඛය අනුව සුදුසුකම් සපුරා නොතිබූ ප්‍රවාහන හිමිකම් නොමැති නිලධාරීන් 08 දෙනෙකු සඳහා නිල වාහන වෙන් කිරීම සහ ඉන්දන දීමනා වෙනුවෙන් 2017 සහ 2018 වර්ෂ වලදී රුපියල් 2,590,545ක මුදලක් ගෙවීම පිලිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමුවිය.

මෙහිදි නිලධාරීන් සඳහන් කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින අවධියේදී ලබා දුන් අනුමැතියක් අනුව මෙම වාහන ලබා දී තිබූ බවත් පසුව එලෙස වාහන ලබා දීම නතර කරන ලෙස අමාත්‍යාංශය විසින් ලිපියකින් දන්වා ඇති බවයි.

මෙහිදී කෝප් සභාපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දුන්නේ මේ පිළිබඳ විධිමත් පරික්ෂණයක් සිදු කොට අදාළ සියළු ලිපි ලේඛනද සහිතව වාර්තාවක් කමිටුව වෙත එවන ලෙසයි.

2008 වර්ෂයේදී විහන නියෝජිත ආයතනයකින් රුපියල් 8,095,000ක් වටිනා කැබ් රථයක් මන්ඩලයේ කිසිදු නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව එවකට හිටපු සභාපතිවරයා විසින් භාරගෙන මණ්ඩලයේ නමට ලියාපදිංචි කර තිබුනද, එදින සිටම එම වාහනය අස්ථානගත වී තිබීම සම්බන්ධව කොප් කමිටුව දිර්ඝ ලෙස විමසා සිටියේය.

අදාළ වාහනය වෙනුවෙන් වාහන සමාගම වෙත මුදල් නොගෙවීම නිසා එම සමාගම විසින් නඩු පවරන ලද එහි තීන්දුවට අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට එම ආයතනය වෙත රුපියල් 16,190,000කට අ‍ාසන්න මුදලක් ගොවීමට සිදුවී තිබිණි. මෙම නඩුව සඳහා මණ්ඩලය විසින් දරන ලද නීතිඥ වියදම් ඇතුළුව 2018 දෙසැම්බර් 31 වන විට මුළු අලාභය රුපියල් 26,634,185 ක් විය.

මෙහිදී මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව අදාළ අලාභය අය කර ගැනීම සඳහා සිවිල් නඩුවක් පවරා ඇති බවයි.

මෙම රැස්වීමට අමාත්‍ය සරත් වීරසේකර, මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, සමාජික මන්ත්‍රීවරයන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජගත් පුෂ්පකුමාර, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න,මධුර විතානගේ,ප්‍රෙම්නාත් සී දොලවත්ත යන මහත්වරු සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *