කොන්දේසි කැඩූ යතුරුපැදි සවාරියක් පොලීසියෙන් නවතයි

(කොළඹ, ලංකාපුවත්) – කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් කල්පිටිය සිට අනුරාධපුරය දක්වා වූ යතුරුපැදි සවාරියක් නවතා දැමීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මහජනතාවගෙන් එල්ල වූ විරෝධය සලකා බලා එය නවතා දැමීමට පියවර ගෙන ඇත.

පෞද්ගලික යතුරුපැදි සමාජයක් සංවිධාන කළ මෙම යතුරුපැදි සවාරිය ඊයේ ආරම්භ කෙරුණු අතර එය හෙට අවසන් වීමට නියමිතව තිබුණි.

එම යතුරුපැදි සමාජය මහරගම අපේක්ෂා රෝහලට මුදල් පරිත්‍යාග කිරීමේ සහ කල්පිටිය ප්‍රදේශයේ පාසල් ළමුන්ට පාසල් පොත් හා උපකරණ බෙදාදීමේ වැඩසටහනේ තවත් අංගයක් ලෙස මෙම යතුරුපැදි සවාරිය සංවිධාන කෙරුණි.

ලියාපදිංචි පුද්ගලික සංවිධානයක් ලෙස සහ සමාජ සේවා කාර්යයකට අදාළව නීත්‍යනුකූලව කර තිබූ ඉල්ලීමක් බැවින් අනතුරුව නියමිත කොන්දේසිවලට යටත්ව අදාළ රජයේ ගාස්තු අය කිරීමෙන් පසු ඒ සඳහා අවසර දුන් බව පොලීසිය පවසයි.

ඔවුන් වෙත ලබාදුන් ප්‍රධාන කොන්දේසි අතර, සහභාගී වන්නන් සඳහා වලංගු රියැදුරු බලපත්‍රයක් තිබීම, නියමිත පරිදි ආරක්ෂක හිස්වැසුම් පැළඳ සිටීම,යතුරුපැදි ලියාපදිංචිය සහ රක්ෂණය කර තිබීම, යතුරුපැදි නියමිත ධාරිතාව නොඉක්මවීම, සියලුම මාර්ග නීතිරීතිවලට අවනතව ධාවනය, ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සංවිධානය මණ්ඩලය දැරීම, රජයේ හෝ පෞද්ගලික අංශයේ දේපලකට අලාභ සිදු වුවහොත් සංවිධායක මණ්ඩලය එය ප්‍රතිපූර්ණ කිරීම යන කොන්දේසි ද මීට ඇතුලත් කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *