නව සන්ධානය ගමන් කරන්නේ වැඩපිළිවෙළක් සමගයි

(කොළඹ | ලංකාපුවත්) –  නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන බව නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවති දෙවන ජන රැළියට සහභාගී වෙමින් ඊයේ (24) නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“මෙතනට ඇවිල්ලා ඉන්න මේ ජන ගඟ නව සන්ධානයට ලබා දෙන ශක්තියට මුලින්ම මාගේ ස්තුතිය පුද කර සිටිනවා. අපේ වැඩසටහනට විශාල ශක්තියක් ලබා දෙන පිරිසක් තමයි මෙතන ඉන්නේ. මේ නව සන්ධානය පොරොන්දු දෙන තැනක් නෙමේ වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන ගමනක්. අවුරුදු 70 ක් මේ රට විනාශ වූනේ පොරොන්දු දීලා බලයට පත් වූ නිසයි. පොරොන්දු දීලා බලය ගත්තම පොරොන්දු ඉටු කරන්න සල්ලි ණයට ගන්න සිදුවුනා. නැතිනම් සල්ලි අච්චු ගහන්න සිද්ධ වුනා. පොරොන්දු ඉටු කරන්න සල්ලි නැහැ. ණය ගැනීම හා මුදල් අච්චු ගැසීම තුළ රට විනාශ වුනා. ඒ නිසා මේ නව සන්ධානයේ ප්‍රධාන අරමුණ ජනතාවට ඇත්ත ප්‍රකාශ කරන එක. සත්‍ය කතා කරන එක, ජනතාවට යථාර්ථය අවබෝධ කර දීමයි. එහෙම නැතිව බොරු කියන එක නෙමේ. වේදීකාවක් වේදීකාවක් ගානේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හොරු ඇල්ලුවම ආර්ථිකය නැගිටනවා කියලා. හොරු අල්ලන්න 2015 FCID එක දාලා තිබුනා. අල්ලපු හොරෙක් නැහැ. නැවතත් ඒකමයි කියන්නේ. අනුර කුමාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ.

අනිත් පැත්තෙන් සජබ නායකතුමා පොරොන්දු දීගෙන දීගෙන යනවා. පොරොන්දු දෙන්න සල්ලි තියෙනවද ? සල්ලි නැහැ. මේ රටේ ආර්ථිකය හදන්න ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා හැර වෙනත් ක්‍රමයකින් සල්ලි හොයන්න බැහැ. සල්ලි ගස් වලින් කඩන්නත් බැහැ. මැජික් වලින් හොයන්නත් බැහැ. ආර්ථික වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් හදන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ වේදීකාවල කලාකරුවෙක් ගෙනල්ලා සින්දුවක් කීවම, නිළියක් ගෙනල්ලා සාහිත්‍ය කතාවක් කීවම ලොකු වැඩක් කියලා හිතනවා. ලගදී වේදිකාවේ කියනවා කාන්තාවෝ සීයයි. පියයුරු දෙසීයයි කියලා. මේ මොනවද කියන්නේ. කුණුහරුප කියන්නේ. ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියනවා. පියයුරු පෙන්නගෙන කොළඹ ඉදන් ගාල්ලට ඇවිදින්න ඕනේ කියනවා. මේවා නෙමේ වැඩ. රට ගොඩගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නයි ඕනේ.

සජබ කට්ටිය මොනවද කියන්නේ අපි ආවම දෙනවලු. තියෙනවනම් අපිත් දෙනවනේ. දෙන්න ඕන අයට දෙන්න ඕනේ. නුසුදුසු අයට දීලා හරියන්නේ නැහැ. සුදුසු අයට දෙන්න ඕනේ. එහෙම වුනොත් රටේ ආර්ථිකය හදන්න පුලුවන්. වැටුණු වලට රට නැවත ගෙනියන්න ඉඩ දෙන්න බැහැ. මිනිස්සුන්ට ඇත්ත කියලා, යථාර්ථය කියලා අපේ පැත්තට ජනතාව දිනාගන්න ඕනේ. එහෙම නැතිව රට ගොඩගන්න බැහැ. ඉස්සරහට රට ගෙනියන්නේ කොහොමද කියන එක තමා අපේ සන්ධානයේ ප්‍රධාන අභියෝගය. මාර්තු මාසයේදී මේ රටේ දැවැන්තම සන්ධානය ගොඩනැගෙනවා. වාමාංශික, ප්‍රගතිශීලී සියලුම ජනතාව මේ සන්ධානය වටා ඒකරාශී වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපිත් එක්ක එකතු වෙන්න ඉන්න ශ්‍රිලනිප, පොදුජන පෙරමුණ හා සජබ පාක්ෂිකයින්ට කියනවා අපි වටා ඒකරාශී වෙන්න කියලා. බොරු දේශපාලන පොරොන්දු නෙමේ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරනවා.

අපි දැවැන්තම සන්ධානය හඳලා මැයි මාසය තුළ ලක්ෂ ගණනක් ජනතාව කොළඹට ගෙනල්ලා ජනතා විමුක්ති පෙරමුණට, සජබයට අභියෝග කරනවා පුලුවන්නම් ජනතාව ඒකරාශී කරන්න කියලා. අපි පටන් ගත්තා විතරයි. පළමු එක ජා ඇල තිබ්බා, දෙවැනි එක හයිඩ් පාර්ක්, තුන්වෙනි එක හම්බන්තොට, හතරවෙනි එක බදුල්ල. පස්වෙනි එක මොණරාගල තියනවා. මැයි මාසයේ ඉදන් ආසන 160 තුළ ජනතාව ඒකරාශී කරගෙන සන්ධානය වටා විශාල ජනතාවක් ඒකරාශී කරනවා. කයිවාරු ගැහැව්වට, මිනිස්සු අන්දලා, බොරු ටෝක්ස් දුන්නට ආර්ථිකය හදන්න බැහැ. ආදායම හොයන විදිය කියන්න ඕනේ. වියදම අඩු කරන ක්‍රමය කියන්න ඕනේ.

මිනිස්සු අන්දරේගේ කතා අහන්න ආසයි. අන්දරේ රජ කරන්න ගියේ නැහැ. අන්දරේ රජ කරන්නේ නැහැ. කයියනායකත් අන්දරේ වගේ තමයි. ඉන්දියාවට හිස නමා ආචාර කරන්න ඕනේ බුරන බල්ලෝ හීලෑ කරලා එව්වට. අවුරුදු 40 ක් දේශපාලන නායකයෝ හොඳ තීන්දු ගන්න ගියාම ඒ සියලු දේවල් කඩාකප්පල් කළේ කවුද ? ජනතා විමුක්ති පෙරමූණ. ඒ ජනතා විමුක්ති පෙරමුණ දැන් අවුරුදු 40 කට පස්සේ ඇවිල්ලා කියනවා ඉන්දියාව වෙනස් වෙලා තියනවලු අපිත් වෙනස් වෙන්න ඕනේ කියලා. මේ අයට අවුරුදු 40 – 50 ක් ගිය එදා නායකයෝ කියපු දේවල් පිළිගන්න. මේ අයට තව අවුරුදු 50 ක් යනවා දැන් අපේ නායකයෝ කියන දේ පිළිගන්න.

සමාජ මාධ්‍යවල අනුර කුමාරට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා කියලා කියනවා. ඉන්දියාවට ගියාට පස්සේ දවස් 5 ක් තිස්සේ එක වචනයක් කතා කළේ නැහැ. ජා ඇල රැස්වීමේදී මම කීවා අනුර කුමාරට පුලුවන් Yes / No විතරයි කියලා. ඉන්දියාවට ගියාට පස්සේ No ත් බැහැ කියලා දැනගත්තා. ඉන්දීය සංචාරය තුළ එතුමා කිසිදු කතාවක් කරන්නේ නැහැ. සංචාරය කරපු දවස් 5 ට ජායාරූප විතරයි. ඉන්දියාව රෙකෝඩින් ඕෆ් කරලා. මොකද කතා කරන්න භාෂාව දන්නෙ නැහැ. කතාකරපුවා මෙහෙ දැම්මොත් තියෙන ජන්ද ටිකත් නැහැ. අපි එදා ඉදන් කීවා ඉන්දියාව එක්ක වැඩ කරන්න ඕනේ කියලා. මේ අය තමා කීවේ ඉන්දියාව එක්ක වැඩ කරන්න බැහැ කියලා. සාම්පූර් එකට විරුද්ධ වුනා. එට්කා එකට විරුද්ධ වුනා. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වුනා. මිනිස්සු ඉන්දියාවෙන් බඩු ගෙනාවම ඝාතනය කළා. ගිනි තිබ්බා. එහෙම අතීතයක් තියෙන්නේ.

දැන් ඇවිල්ලා කියනවා ටෙන්ඩර් කළාට කමක් නැහැ. 50 – 50 දුන්නට කමක් නැහැ. ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධ නිසා කොච්චර මිනිස්සු මැරුනද ? හැබැයි දැන් තේරිලා තියෙනවා අවුරුදු 50 කට පස්සේ 50 – 50 හොඳයි කියලා. තව අවුරුදු 50 කින් තමා තේරෙන්නේ ලෝකයේ ඉන්න හොඳ ව්‍යාපාරිකයෝ ගේන්න නම් අපි රටවල් එක්ක තරඟ කරන්න ඕනේ කියලා. ඒ තාක්ෂණය ගේන්න සහය දෙන්න ඕනේ. නැතුව ලංකාවට එන්නේ නැහැ. තව රටවල් තියෙනවා ඒ අයට තෝර ගන්න. ඒක තේරෙන්නෙ නැහැ මේ අයට. තව අවුරුදු 50 ක් යනවා ඒ දේවල් තේරෙන්න.
ජවිපෙට වැඩපිළිවෙළක් නැහැ. කයියනායකලට වැඩපිළිවෙළක් නැහැ. බොරු කාරයින්ට වැඩපිළිවෙළක් නැහැ. ජෝක් කාරයින්ට රටවල් හදන්න බැහැ. මේ රට හදන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනේ. බොරු රැලි වලට අහුවෙන්න එපා.

අපි රටට පණිවුඩක් දෙනවා මේ සන්ධානය ඉදිරියට යන්නේ වැඩපිළිවෙළක් එක්කයි. අපි බොරු කියන්නේ නැහැ. ඇත්ත ජනතාවට කියනවා. සත්‍ය කියනවා. යථාර්ථය ජනතාවට අවබෝධ කරලා දෙනවා. මිනිස්සු අපි කියන දේ අහන්නේ නැතිව වෙන කණ්ඩායමක් ගෙනාවත් මාස තුනයි, හයයි තියෙන්නේ. මිනිස්සු ගල් ගහලා එලවනවා කියලා ලියලා තියාගන්න. ඒකට පූර්වාදර්ශයක් තියෙනවා.

අනුර කුමාරට බලයට එන්න බැහැ. ඒකනේ වැඩපිළිවෙළක් කියන්නේ නැත්තේ. බලයට එනවනම් වැඩපිළිවෙළ කියනවනේ. මොකද ඒ අයට ඕනේ හැමදාම විරෝධතා දක්වන්න. විපක්ෂනායකධුරය. ඒකනේ වැඩපිළිවෙළක් කියන්නේ නැත්තේ. සජිත්ටත් ඕනේ විපක්ෂ නායක ධූරය. නාමල් රාජපක්ෂටත් ඕනේ විපක්ෂ නායකකම. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ තුන් දෙනා විපක්ෂනායකකමට හැප්පෙනවා. මේ අය බලය ගන්න ඕනේ නම්, ජනාධිපතිධූරය ගන්න ඕනේනම් වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න ඕනේ.” යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා,
“මීට මාසෙකට කලින් අපි ජා ඇලදි රැස්වීමක් කළා. අද ජා ඇල වගේ දෙගුනයක් හයිඩ් පිටියට ආවා.අපි වටා වෘත්තීකයින්, උගතුන්, බුද්ධිමතුන්, ගරුතර මහා සංඝරත්නය වගේ මහා පිරිසක් අපි සමග ඉන්නවා. මම 1991 දී කෝට්ටෙ නගර සභාවෙන් දේශපාලනයට ආවේ. 2000 ඉදලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. දේශපාලනයෙන් නිල නිවාසයක් අරගෙන නැහැ. අද මේ වේදිකාව තරුණ අදහස් වලට, ඔවුන්ගේ අදහස් කියන්න ඉඩ දීලා තියෙනවා. දේශපාලන බලවේග හදන්න අවුරුදු ගනන් ගත කරන්න ඕනෙ නැහැ.

2022 අප්‍රේල් වෙනකොට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුනා. ඒකෙන් උනේ දේශද්‍රෝහී බලවේග ඔලුව උස්සපු එක. අපිට ඉතිහාසය හොදට මතකයි. 1971 තරුණ තරුණියෝ 12,000 ක් මැරුවා. කැළණිය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල එදා වධකාගාර වෙලා තිබුනා. තවත් පැත්තකින් 88,89 දි මහාධිකරණය තුම්මුල්ලට ගේනාවා. එක තුණ්ඩු කෑල්ලෙන් රාජ්‍ය ආයතන වහල දැම්මා. ඒ එක්කම ප්‍රභාකරන්ගේ භීෂණය පැතිරුනා. 2009 දී එය අවසන් වුනා.

2022 දී අපේ රට බංකොලොත් කිව්වා. අපි දැන් එතනින් ගොඩ වෙමින් යනවා. බොහෝ ක්ෂේත්‍ර වල අද සේවකයෝ අඩුයි.ගොඩක් අය රට හැර ගිහින්. අද මෙතන ඉන්නවා රැකියා විරහිත උපාධි දාරී සංගමයො ඉදිරියේදි නවක උපාධිධාරීන්ට රැකියා දෙනවා. අපි දවසට පැය 16 ක් විතර වැඩ කරනවා. අපි මේ රට වෙනුවෙන් කැප කිරිම් කරල තියෙනවා. අපි හැමදාම අපේ වගකීම් ඉටු කරල තියෙනවා. අපි ජනතාවට කියනවා පීලි පන්නගන්න එපා කියලා. ඉතාම පරිස්සමින්, බුද්ධිමත්ව රට ඉදිරියට ගෙන යා යුතුයි. ඊළග රැස්වීමට පාර්ලිමේන්තුවේ ඉන්න නොකැලැල් 50 කට වැඩි පිරිසක් පෙළ ගැසී අවසන්. ඒ අනුව රට හැදීමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට අපට පුලුවන්.”

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,
“දරුණුතම ආර්ථික අර්බුදයක් ඇති වූ රට දැන් නිවැරදි දිශාවට යොමුවෙමින් තිබෙනවා. රට භාරගන්න කිසිවෙකු ඉදිරිපත් වුනේ නැහැ. සමගි ජනබල වේගය වගේම ජනතා විමුක්ති පෙරමුණ වගකීම් භාරගත්තෙ නැහැ. නමුත් නව සන්ධානය රට ගොඩනැගීමේ වගකීම භාරගන්න සූදාන. රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙළ අපේ නව සන්ධානය සතුව තිබෙනවා. විපක්ෂ නායකතුමා මේ දවස්වල කලබල වෙලා. එතුමට කලබල වෙන්න දෙයක් නෑ. එතුමට මුකුත් කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ සතුව කිසිම වැඩපිළිවෙළක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙළ තමයි අනෙක් පක්ෂ වල අය ඒගොල්ලො බලයට ආවම හිරේ දාන එක. ඒක පලවෙනි වැඩපිළිවෙළ. දෙවෙනි එක තමයි ඉතුරු අයව ගහලා මරණ එක. ඒක ඇරෙන්න ජනතා විමුක්ති පෙරමුණට වෙන වැඩපිළිවෙළක් නැහැ. දැක්මක් නැති ජනතා විමුක්ති පෙරමුණට රටක් හදන්න බැහැ. අපේ අමාරුම කාලය දැන් පහු කරලා ඉවරයි. තව මාස තුනක් හතරක් යද්දි මේ සියලුම කරදර ඉවරයි. අපේ නව සන්ධානය තුළින් රටේ ආර්ථිකය ගොඩ නැගීමේ වැඩපිළිවෙළට යොමු වෙලා තියෙනවා. ඒ නිසා දේශීය නිෂ්පාදන දිරිගැන්වෙන වැඩපිළිවෙළක් එක්ක රටේ ආර්ථිකය නිවැරැදි මගට ගන්න අපි සූදානම්.”

නව සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා,
“අපි අලුත් සන්ධානයක් හදනකොට විපක්ෂයේ අය විතරක් නෙවෙයි අපේ අයත් හිනා වුනා. නමුත් රටේ කිසිදු දේශපාලන පක්ෂයකට කළ නොහැකි දෙයක් අපි සිදු කළා. පක්ෂයක්, ලාංජනයක් නැති අපේ අලුත් සන්ධානය රට හමුවේ තැබුවා. අපි දශක ගණනාවක් තිස්සේ වමේ දේශපාලන ධාරාව තුළ බොහෝ දේ කරපු අය. අපට පුලුවන් අපේ දේශපාලන ධාරව එකම තැනකට එකතු කරන්න. අපි නව සන්ධානයක් විදිහට විශාල අභියෝගයක් බාර ගත්තා. අපි කරන්නෙ විසිරිලා ඉන්න රටට ආදරය කරන දැක්මක් ඇති පිරිසක් එකම තැනකට එකතු කරන එක. ඒ මගින් එක් අරමුණක් කරා යා හැකි නව බලවේගයක් නිර්මාණය කළ හැකියි. අපි හැම දිස්ත්‍රික්කයකම මේ වගේ මහජන රැළි පවත්වනවා. ජනතා විමුක්ති පෙරමුණ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලොන්ට විතරයි රැළි පවත්වන්න පුලුවන් කියලා. අනිත් හැමෝම බය වුනා. අපි බය වුනේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ බොරු වැලක් කියනවා. අවුරුදු 75 ක් තුළ විවිධ දේශපාලන කඳවුරු විවිධ ආකාරයෙන් රට සංවර්ධනය කළා. අපි රටට වැඩක් කරපු අය. ඒ නිසා අපිට කතා කරන්න පුලුවන් .70,71,88,89 ජනතාව මතක් කර ගත යුතුයි . අපේ රට විවිධ නායකයින් යටතේ පාලනය වුනා. නමුත් සහනාධාර හා පොරොන්දු මත දේශපාලනය කලා මිසක් රටේ ආර්ථිකය දියුණු කිරීමේ නිවැරදි මාර්ගය හදුනා ගත්තෙ නෑ. හදෙන් හාල් ගේන්න, වගේ පොරොන්දු ඉතිහාසයේ ඉදලා ජනතාවට දීපු රැවටිලි පොරොන්දු. නමුත් පොරොන්දු වලින් දේශපාලනය කරන්නවත් රට ගොඩ ගන්නවත් දැන් ඉඩක් නෑ. අපි ජනතාවට ඇත්ත කිව යුතුයි. අපි කරන්නෙ මොකක් ද කියලා අපි ජනතාවට කිව යුතුයි. අපේ ආර්ථිකය ජාත්‍යන්තර දිශානතියකට ගෙන යා යුතුයි. නෙදර්ලන්තය, මැලේසියාව දියුණු වුනේ ඒ විදිහට.

ආණ්ඩු ගෙනියන්න නම් අවශ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතුයි. නිරන්තරයෙන් අපේ රටේ පවතින ආර්ථික ගැටලුවට විසදුම් දිය හැකි ස්ථිරසාර ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. අපි ඔබට කියනවා අපේ දේශපාලන වැඩපිළිවෙළ පිළිගන්න කියලා. වමේ බලවේගය, පොහොට්ටුව, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ හැමෝටම අප සමග එක්විය හැකියි. දූෂිතයෝ අපි ළග නෑ. සමහරු කියනවා 225 ම පන්නන්න ඕන කියලා. එහෙම වුනොත් තව 225 ක් ඒවි. මහා විශාල ජනතාවක් අපිත් එක්ක ඉන්නවා. ඒ සියලු දෙනාට යහපත් ජීවිතයක් උරුම කරන්න අපිට පුලුවන්.”

 

බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා
ලාංකීය දේශපාලනයේ තීරණාත්මක බලවේගය අපියි. හොරු නැති, තක්කඩි නැති තීරණාත්මක බලවේගය අපියි. එමනිසා අපි සමග අත්වැල් බැදගන්නා ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ අය රටට යහපතක් කරපු පිරිසක් නෙමෙයි. ඒ වගේම සජිත් වගේ ළමා කතා කියන ඒ වගේ වැඩකරන කෙනෙක් ගැනත් කතා කරලා වැඩක් නෑ.

අද අපි වමේ බලවේගය එකතු කරගෙන ශක්තිමත් ගමනක් යන්න සූදානම්. අනෙක් සියලු බලවේග වලටත් අපි ආරාධනා කරනවා අප සමග එකතු වන්න කියලා. මම ලබන මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයයෙන් තරග වදින්න බලාපොරොත්තු වෙනවා. දේශපාලන කුහකයින් නිසා මීට පෙර මට ඒ අවස්ථාව නැති වුනා. අපි ඉල්ලා සිටිනවා ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී අනාගතයක් ඔබට උරුම කල හැකි එකම දේශපාලන කණ්ඩායම අප වන බැවින් අප සමග අත්වැල් බැද ගන්න කියලා.

සුගීෂ්වර බණ්ඩාර මහතා,
ලෝක ඉතිහාසයේ බොහෝ රටවල් අර්බුද වලට මුහුණ දුන්නා. නමුත් අර්බුද තුලින් නැගී සිටින්නත් එම අයට පුලුවන් වුනා. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයක් මෑතකදී තිබුණා. අරගල කරුවන් පාර්ලිමේන්තුව වට කරලා ප්‍රහාර එල්ල කරන්න සූදානම් වුණා. කෙසේ හෝ එය මැඩ පැවැත්වූවා. රටක ස්ව්‍යරීත්වයට ආර්ථික අර්බුධය බලපෑම් කරනවා. ඒ වෙනුවෙන් එකාවන්ව නැගී සිටිය යුතුයි. පෙන්ටගනයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ඒ රටේ දේශපාලන පක්ෂ එරට රජයට සහයෝගය දුන්නා. රට ගැන අලුතින් හිතන දේශපාලන සංස්කෘතියක් අප නිර්මාණය කළ යුතුයි. කෑමොර දීලා සුරංගනා කථා කියල විවේචනය කරල රටක ප්‍රශ්න විසදන්න බෑ.

හයිඩ් පිටියට ඔබව කැදවූයේ ඒ නිසයි. ඉන්දියාවත් ආර්ථික අර්බුදයට මුහුණ දීපු රටක්. අද ඉන්දියාව ලෝකයේ 5 වෙනි ආර්ථික බලවතා. 2030 වෙද්දි ඉන්දියාව තෙවැනි ආර්ථික බලවතා වෙනවා. google සමාගමේ සේවකයින් විශාල පිරිසක් සේවයෙන් ඉවත් කළා. එයට හේතුව කෘතිම බුද්ධිය. එහෙම බලනකොට අපි කොහෙද ඉන්නෙ. අද ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ පීඩනය මැදින් දේශපාලනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ඉදන් ඉන්දියාව විවේචනය කළා. අද ඉන්දියාවේ ගිහින් අමුල් සමාගම එක්ක සාකච්ඡා කරනවා.

අද ජනතා විමුක්ති පෙරමුණ එක සග සමුලුවක් තියෙනවා. ඒ අයට සදාචාර අයිතියක් නෑ එහෙම කරන්න. හාමුදුරුවෝ 24 නමක් ඝාතනය කළා. තවම එක වචනයක් ඒ ගැන කතා කලේ නෑ. සමාව ගත්තෙ නෑ. අපි අනුර කුමාරගෙන් අහනවා රටට කියන්න ඒවා කළාද ? නැද්ද ? කියලා අපි හැමෝගෙම ජීවිත තුළ දුක්බර කතාවක් තියෙනවා. මගේ තාත්තා නීතීඥවරයෙක්. කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය කළා. ඔහු මහේස්ත්‍රාත් වරයෙක්. මගේ තාත්තාව මැරුවා. මට වයස අවුරුදු 4 යි. අවුරුදු 42 දී මගේ අම්මා කනවැන්දුම් කළා. මම තාත්තාගෙ මිණිය එක්ක සෙල්ලම් කලා. අපේ වගේ දහස් ගානක් ජීවිත වලට ඒ අය කරපු අපරාදෙ තමයි ඒ. අද ඒ අය කාන්තා විමුක්තිය ගැන කතා කරනවා. මහා සංඝයාට දැන් ප්‍රෝඩාවක් කරනවා. එය නැවැත්විය යුතුයි. අපි අද පක්ෂයක් නැති, පාටක් නැති සන්ධානයක් තුළින් රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා. ඉදිරියේදී රටේ අධ්‍යාපන, ධීවර, සංස්කෘතික ප්‍රතිසංස්කරණ හැදෙන්නෙ මේ සන්ධානය තුළින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *