උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 වනදා සිට

(කොළඹ | ලංකාපුවත්) – මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවද මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවද අවධාරණය කළ අමාත්‍යවරයා, දැනට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද පෙන්වා දුන්නේය.

දැනට පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව 100 ක් වන බවත් ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් දාහතකින් වැඩි කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවද ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතර මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත් වැඩියා කටයුතු වෙනුවෙන් කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඉදිරි සති කිහිපය ඇතුළත සෑම පාසලකම පන්ති කව ආරම්භ කළ යුතු බවද ඒ හරහා දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් මැදිහත් විය යුතු ආකාරය දැනුවත් කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වා ගැනීමට සමස්ත පාසල් ප්‍රජාවගෙන් සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ සාකච්ඡා කරන බවද දැනටමත් රජය සියලු‍ රජයේ සේවකයින් වෙනුවෙන් වැඩි කරන ලද වැටුප් ගෙවීමට වසරකට බිලියන එකසිය පනහක් රජය වැය කරන බවද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, වරාපිටිය පාසල් පර්ශදයේ පෝෂිත පාසල් සඳහා සම්පත් බෙදා දීමේ වැඩසටහනට ප්‍රධාන ආරධිතයා ලෙස එක්වෙමිනි. මෙහි දී වරාපිටිය මහ විද්‍යාලයට, හඳුගල මහ විද්‍යාලයට සහ කැකිරිඕබඩ මහ විද්‍යාලයට සුහුරු පුවරු ලබා දීම සිදුවිය.

තවද එම පාසල් පර්ශදයේ පාසල් නවය සඳහා ම පාසල් පෙළපොත් නිළ ඇඳුම් ලබා දීම ද සිදුවිය. සිසුන් 200ට අඩු පාසල් සඳහා පාසල් බෑග්, පාසල් උපකරණ කට්ටල, පාසල් පාවහන් වවුචර, අභ්‍යාස පොත් කට්ටල ලබා දීමත් මීට සමඟාමීව සිදුවිය. වරාපිටිය මහ විද්‍යාලයට, හඳුගල මහ විද්‍යාලයට සහ කැකිරිඕබඩ මහ විද්‍යාලය විදුලි පා පැදි දෙක බැගින් ලබා දීමත් එම පර්ශදයේ තවත් පාසල් හයකට විදුලි පාපැදි ලබා දීමත් සිදු වූ අතර ක්‍රීඩාභා‍ණ්ඩ ලබා දීම ද සිදුවිය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ කිසිම දරුවෙක් උසස් පෙළින් පසු නිවසේ නතර වනු වෙනුවට තමා කැමති ක්ෂේත්‍රයකින් ඉදිරියට යාමට අවස්ථාව සලසා දෙන බවත් මාර්තු 05වන දා සිට ඇරඹෙන වෘත්තීය පුහුණු වැඩසටහන සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ මග පෙන්වීම් යටතේ තමාට ආසන්නතම මධ්‍යස්ථානය වෙත ගොස් පාසල් කාල වේලාවෙන් පසු දිනකට පැය දෙකහමාර බැගින් පැවැත්වෙන පුහුණු වැඩසටහන සමග එක් විය හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම එළඹෙන මැයි ජුනි මාස ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ලක්ෂයක් සඳහාද විභාගයෙන් පසු මෙම පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මේ සියලු‍ සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවනුයේ ඉදිරියේදී හඳුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සමස්ත අධ්‍යාපන පද්ධතිය සම්බන්ධ කරවීම වෙනුවෙන් බවද පෙන්වා දුන් අමාත්‍යවරයා හයවන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති විෂය සංඛ්‍යාව ඉදිරියේදී විෂයන් හතක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බවද ඉතිරි විෂයන් තුන සිසුන් වෙසෙන ඒ ඒ පළාත් අනුව ආවේණික කර්මාන්ත ව්‍යාපාර සම්බන්ධ කර ගනිමින් හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් විශ්ව විද්‍යාලයට යාමට සියලු‍ සිසු දරුවන්ට නොහැකි වුවත් වෘත්තීය මාර්ගෝපදේශනය තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි භාෂාව සහ තමන් අභිමත විෂයක් හැදෑරීමට අවස්ථා සලසා දීම මෙම වැඩසටහනේ අරමුණයි. අනාගතයේ රටේ ආර්ථිකයට සක්‍රීයව දායක විය හැකි තාක්ෂණය සුහුරු ලෙස භාවිත කිරීමට සමත් වූ දැනුම යාවත්කාලීන වූ දරුවන් පිරිසක් අධ්‍යාපනය තුළින් බිහිකිරීමට දායක වන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *