රත්නපුරයට මැණික් කර්මාන්තපුරයක්

(කොළඹ, ලංකාපුවත්) –”වෘත්තීය තාක්ෂණවේදීන් බිහි කරන උසස් අධ්‍යාපන ක්‍රමවේදයක්” ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා සිටින සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් නමුත් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි තරුණ තරුණියන් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය විසින් එම ක්ෂේත්‍රයට අදාල වෘත්තීය පුහුණු පාඨමාලාවන් රැසක් ආරම්භකොට පවත්වාගෙන යයි.

දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 07ක පාඨමාලා 21 ක් ලෙස මෙම වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ යටතේ “රත්න විද්‍යා ඩිප්ලෝමා” පාඨමාලාව සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 සහ 4 මට්ටමේ පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන ලද සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය ඊයේ (30) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණී. මෙහිදී සිසුන් 62 දෙනෙකුට සහතික පත්‍ර පිරිනමන ලදී.

මෙවැනි පාඨමාලාවන් හරහා බිහිවන විධිමත් අධ්‍යාපනයක් සහිත වෘත්තීයවේදීන් ජාත්‍යන්තර තලයට ගෙනයාම තුළින් ජාත්‍යන්තර මැණීක් වෙළෙඳපොළ ජය ගැනීමට ලාංකික මැණික් කර්මාන්තකරුවන්ට අවස්ථාව හිමිවන අතර, රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මැණික් කර්මාන්ත පුරයක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ මැණීක් කේන්ද්‍රස්ථානය බවට පත්කර ගැනීම තම අමාත්‍යාංශයේ බලාපොරොත්තුව බවත් මෙම අවස්ථාවට සහභාගි වූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එම් පියතිස්ස මහතා ප්‍රකාශ කළේය. තවද අන්තර්ජාලය (online) ඔස්සේ ජාත්‍යන්තර ගැණුම්කරුවන් සමඟ ගනුදෙනු සිදුකරමින් ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ විනිමයක් මෙම වසරේදී ලබාගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යංශය ලේකම් පියතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එම් පියතිස්ස , මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ සභාපති පී. ජී. ආර්. ධර්මරත්න මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *