වත්මන් ආර්ථික ගැටළු ගැන අගමැති ප්‍රධානත්වයෙන් විද්වත් සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් ආර්ථික ගැටළු පිළිබඳ විද්වත් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කරමින් දිගුකාලීන ආර්ථික පුනර්ජීවයක් ඇති කිරීම සඳහා ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් විද්වත් කථිකාවතක් ඇති කිරීම සහ ආර්ථික පුනර්ජීවය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනා ගැනීම මෙහි අරමුණ විය.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා

2020 මාර්තු වලින් පසු 2020 සහ 2021 වර්ෂ වල පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ සෞඛ්‍ය සේවාව සඳහා වන පිරිවැය ඉහළ ගියා. ඉහළ යන විරැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සඳහාත්, රටේ ආහාර සුරක්ෂිතතාව සඳහාත් රජය පියවර ගත්තා. ඒ වගේම කුඩා ව්‍යාපාර ආරක්ෂා කිරීම සඳහා මෙන්ම සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය සඳහාත් පසුගිය දෙවසර තුළ රජයට පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා 2020 වර්ෂය සඳහා රුපියල් බිලියන 138ක් ද 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 166ක් ද රජයට වියදම් කිරීමට සිදුව තිබෙනවා. කොවිඩ් වසංගතය තුළ ජනතාවට රුපියල් 5000ක් බැගින් ගෙවීමට 2020 වර්ෂය සඳහා රුපියල් බිලියන 56.5ක්ද 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 18.6ක් රජය වෙන්කර තිබෙනවා.

විශේෂයෙන් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 130ක් රජය වියදම් කර තිබෙනවා. වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව දළ ජාතික නිෂ්පාදනයෙන් 2%කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් මර්දනය කිරීම සඳහා වෙන් කර තිබෙනවා.රාජ්‍ය මූල්‍ය සඳහා කොවිඩ් වසංගතය ප්‍රභල බලපෑමක් ඇති කර තිබෙන බව දත්ත අනුව පැහැදිළි වෙනවා.

මේ හේතුවෙන් 2020 වර්ෂයේ දළ ජාතික නිෂ්පාදනය 9.1%ක් දක්වා අඩු වුණා. 2021 දී එය 8.7 දක්වා තවදුරටත් අඩු වෙලා තිබෙනවා. මේ හේතුවෙන් 2021 වසරේදී අයවැය හිඟය 12.2% දක්වා වැඩිවී තිබෙනවා.

2015 සිට 2019 වන විටත් මෙරට අයවැය හිඟය 9.6% ක්. ඒකට හේතුව පසුගිය රජය සමයේ නොගෙවූ බිල්පත් රුපියල් බිලියන 420ක් පමණ පැවතීමයි.

2020 වර්ෂයේ නොගෙවූ බිල්පත් ගෙවීමට වත්මන් රජයට සිදු වුණා. ඒක රාජ්‍ය මුල්‍ය කළමනාකරණය සඳහා විශාල බලපෑමක් වුණා. බදු ආදායම 2019 ට වඩා රුපියල් බිලියන 518කින් 2020 වසරෙදී අඩු වුණා.
පසුගිය රජය පැවති කාලය වන විට 41.7% පැවති විදේශ ණය ප්‍රමාණය 2021 වසරේදී රජයේ ප්‍රතිපත්ති මත 39% දක්වා අඩු කරගෙන තිබෙනවා. 2010 -2014 කාලය තුළ විදේශ ණය 70%ට වඩා අඩු ප්‍රමාණයක පවත්වාගෙන තිබෙනවා. එහෙත් 2015 – 2018 කාලය තුළ විදේශ ණය 86% දක්වා වර්ධනය වී තිබෙනවා. 2030 වන විට රාජ්‍ය ණය 60% දක්වා අවම කරගැනීමට රජය සැලසුම්කර තිබෙනවා.

2015 වන විට 5% පැවති ආර්ථික වර්ධන වේගය 2019 වනවිට 2% දක්වා අඩුවෙලා තිබුණා. ව්‍යාපාර කඩා වැටී තිබුණා යැයි හෙතම පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ ආචාර්ය අනිල් පෙරේරා මහතා

ගෝලිය ආර්ථික වර්ධනය 2022 යම් මන්දගාමී වීමක් වෙලා තිබෙනවා.එය ලංකාවේ අපනයන, සංචාරක ඉපැයීම් සහ පර්යේෂණ වලට බලපෑමක් වෙලා තිබෙනවා. මීට අමතරව ඇති වුණ තවත් අභියෝග තිබෙනවා. රුසියානු යුක්රේන යුද්ධය, ජාත්‍යන්තර වෙළඳ පොලේ භාණ්ඩ මිළ ඉහළ යාම යන කාරනාත් අපේ රටේ ආර්ථිකයට බලපෑමක් වෙලා තිබෙනවා.

කෙසේ වෙතත් අපේ අපනයන මේ වන විට වර්ධනය වෙමින් තිබෙනවා. මේ සමඟ ආනයන යම් තරමකට සීමා කිරීමත් ආර්ථිකයේ ධනාත්මක වර්ධනය වෙනුවෙන් වැදගත් වෙනවා. ඒ වගේම වර්තමානයේ උද්ගත වන භූ දේශපාලනික ප්‍රශ්න අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බාධාවන් ඇති කරනවා.

මේ වසරේ පසුගිය මාස තුන තුළ දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ සංචාරකයින් ලංකාවට පැමිණ තිබෙනවා. එය ධනාත්මක ලක්ෂණයක්. රුපියල තවත් හිරකරගෙන සිටීමේ හැකියාවක් නැති නිසා විනිමය අනුපාතිකය නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙන්න වෙනවා.

කෙසේ හෝ රටට විදේශ විනිමය ගෙන ඒම ඉතාම අත්‍යවශ්‍ය තත්වයක් බවට පත්වී තිබෙනවා. ඒ හැර මෙය විසඳා ගැනීම පහසු නැහැ. නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රම වැළැක්වීමට කටයුතු කිරීම සහ විදේශ ප්‍රේශණ ලංකාවට ගෙන්වා ගැනීමත් වැදගත් යැයි හෙතම සඳහන් කළේය.

ආර්ථීකයේ වර්ථමාන අර්බුධය සහ ඉන්මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී විද්වත්හු සිය අදහස් ඉදිරිපත් කළහ.

රටේ ආර්ථීක අර්බුදයට බලපාන ප්‍රධාන හේතුවක් කාලයක සිට දිගටම පවතින ආනයන අපනයන පරතරය වැඩිවීම. අපේ රටෙන් අපනයනය කරන ප්‍රමාණයට වඩා ආනයන සිදුවෙනවා. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගත තත්වය සමඟ සංචාරක ව්‍යාපාරයත් බිඳවැටුණා.

බටහිර ජාතින් සහ ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලත් ආනයන පාලනය කරන්න එපා කියනවා. නමුත් ලංකාවේ වැඩිම ආනයන සිදුවෙන්නේ ඉන්දියාව චීනය වගේ රටවල් වලින්. අපිට ඒ අය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්න පුළුවන් නම් එය යම් සහනයක් වෙයි.

කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රමවේද අනුව ප්‍රේෂණ නිත්‍යානුකූලව මේ රටට ගෙන්වා ගැනීමත් අවශ්‍යයි. මෙරටට ආයෝජන ගෙන ඒම සම්බන්ධයෙන් තානාපති කාර්යාල දිරිමත් කිරීමත් වැදගත්.

නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ වැදගත්කමද මෙහි දී අවධාරණය විය. නිෂ්පාදන අංශය ශක්තිමත් කිරීම සඳහා සහන ලබාදීමේ අවශ්‍යතාවද මෙහි දී විද්වතුන් විසින් පෙන්වා දෙන ලදි.

වසර 74ක් පුරා ගොඩනැගෙමින් පැවැති ආර්ථික අර්බුධය පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතයත් සමඟ ඉහළයෑම මේ තත්ත්වය ඇතිවීමට හේතුවී ඇති බවද ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ක්‍රියාත්මක කළ ජීවන වියදම් කමිටුවක අවශ්‍යතාව වර්තමානයේ ද අවශ්‍ය බව මෙහිදී විද්වතුන් පෙන්වා දුන්නේය.

දේශපාලන හේතූන් මත රටේ තත්ත්වය පිළිබඳ වැරදි ආකල්පයක් ජනතාව තුළ නිර්මාණය කර අනවශ්‍ය ජනතා කලබලයක් ඇති කිරීම පවතින අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවී ඇති බවද මෙහි දී අනාවරණය විය.

විදේශීය වෙළඳපොලේ ඉහළ අවශ්‍යතා පවතින දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන්නේය. රජය මගින් ක්‍රියාත්මක කරන දේශීය නිෂ්පාදකයින් ශක්තිමත් කිරීමේ වැඩසටහන අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවත් රජය මගින් ලබා දෙන සහන නිසි පරිදි ග්‍රාමීය මට්ටම දක්වා ලැබෙනවාද යන්න අධීක්ෂණය කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද මෙහිදී පෙන්වා දුන්නේය.

අපනයන වර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ නිෂ්පාදකයින් සමඟ සම්බන්ධව කඩිනම් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ජ්‍යෙෂ්ඨ සහකාර‍ ‍ලේකම් නලිනි කොහොවල, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී.අනුර කුමාර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.විමලෙන්තිරරාජා,රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධ්‍යක්ෂ ආචාර්ය අනිල් පෙ‍ෙර්රා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්ම මහත්මීන් ඇතුළු විශ්වවිද්‍යාල මහාචාර්ය සහ ආචාර්යවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *