වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

(කොළඹ, ලංකාපුවත්) – වතුකම්කරුවන්ගේ දරුවන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීමට මේ දිනවල අයදුම්පත් භාරගන්නා බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඒ අනුව ලංකා වතු කම්කරුවන්ගේ අධ්‍යාපන භාරය (CEWET) විසින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා වතු කම්කරුවන්ගේ දරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව අ.පො.ස උසස් පෙළ, උපාධි පාඨමාලා සහ ශ්‍රී ලංකාවේ පිහිටි රජයේ වෙනත් තාක්ෂණ විද්‍යාලයන්හි වෘත්තීය පුහුණු/ තාක්ෂණික අධ්‍යාපනය හැදෑරීම සඳහා පිරිනමනු ඇත.

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ සිසුන්ට (අවම වශයෙන් C සාමාර්ථ 6 ක් සහිතව) හෝ උසස් පෙළ සමත් වයස අවුරුදු 25 ට අඩු අයවලුන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැක. සම්පුර්ණ කරන ලද අයදුම්පත් සමඟ උප්පැන්න සහතිකය, අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල සටහන, දෙමව්පියන්ගේ ආසන්නතම වැටුප් පත්‍රය සහ දෙමාපියන්ගේ රැකියාව පිළිබඳ වතු අධිකාරීගේ සහතිකය යන ලිපි ලේඛනවල ඡායා පිටපත් එවිය යුතුය. අයදුම්පත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ www.hcicolombo.gov.in වෙබ් අඩවියෙන් බාගත හැකිය.

එසේම අයදුම්පත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, 36-38, ගාලු පාර, කොළඹ 03 සහ සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, අංක 01A, මහාමායා මාවත, තැපැල් පෙට්ටිය 47, මහනුවර යන ස්ථානයන්ගෙන් ද ලබා ගත හැකිය.

නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් ලේකම්, ලංකා වතු කම්කරුවන්ගේ අධ්‍යාපන භාරය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බාරේ, තැපැල් පෙට්ටිය 882, කොළඹ 03 යන ලිපිනයට 2022 අප්‍රේල් 29 හෝ ඊට පෙර ලැබීමට සලස්වන්නැයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *