(කොළඹ, ලංකාපුවත්) – නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කොට තබා ගනිමින් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(11) දහවල් කාලයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වත්තල – හැඳලවත්ත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහි දී සැකකරු සතුව තිබී පෙට්‍රල් ලීටර් 30කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
ඉන් අනතුරුව සැකකරු වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 71ක පුද්ගලයෙකි.
එමෙන්ම පසුගිය දිනවල දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් වැඩි මිලට ඉන්ධන අලෙවි කරන ස්ථාන 68ක් සොයා ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
එහි දී පෙට්‍රල් ලීටර් 8025ක් සහ ඩීසල් ලීටර් 726ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.