ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමු වෙති

(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය.

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.

මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අළෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බවත්, සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මන්නාරම බලකොටුව කෲස් සංචාරකයන් සඳහා සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම කටයුතු සමඟ ඉදිරියේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ක්ෂේත්‍රවල පුළුල් සංවර්ධනයක් සිදු වනු ඇති බවයි.

මන්නාරම ධීවර ජනතාවගේ ගැටළුව කෙරෙහි අවධානය යොමු කරන ලෙසද මන්නාරම රදගුරු හිමිපාණන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මන්නාරම දියෝකිසියේ විකාර් ජනරාල් (Vicar General) පියතුමා වන පී. ක්‍රිස්තුනායගම් පියතුමා, මඩු පල්ලියේ පාලක පියතුමා වන ඒ. ඥානප්රගාසම් පියතුමා, පෙප්පි සෝසෙයි පියතුමා, මන්නාරම දියෝකිසියේ හිටපු විකාර් ජනරාල් පියතුමා (Vicar General) ඇතුළු පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *