සණස ලයිෆ් රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස පුවේන්ද්‍රන් ගජේන්ද්‍ර මහතා පත් කෙරෙයි

(කොළඹ | ලංකාපුවත්) –  සණස ලයිෆ් සමාගම, 2024 ජූනි 19 බදාදා සිට බලපැවැත්වෙන පරිදි සිය නව සභාපතිවරයා ලෙස පුවේන්ද්‍රන් ගජේන්ද්‍ර මහතා පත් කර ඇති බව නිවේදනය කරයි.

සණස ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ගජේන්ද්‍ර මහතා, 2019 වසරේ සිට එම සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර, ඔහු වෘත්තීයමය ගණකාධිකාරීවරයෙකි. විගණන, මූල්‍ය ගිණුම්කරණ, බදු කරණ සහ ලේඛක කටයුතු පිළිබඳ හසළ දැනුමක් හා පළපුරුද්දක් සහිත ඒ මහතා, තක්සේරු කිරීම්, මූල්‍ය විශ්ලේෂණ, අත්පත් කර ගැනීම් සහ ඒකාබද්ධ කිරීම් යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයෙකි.

Sheffield Hallam විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමි ගජේන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු, වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයෙහි ආශ්‍රිත සාමාජිකයෙකු මෙන් ම ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන අතර, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

මීට දශක 2කට පමණ පෙර, සම වරලත් ගණකාධිකාරී ආයතනයක් වන කනේසලිංගම් සමාගමේ විගණන අභ්‍යාස ලාභියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ගජේන්ද්‍ර මහතා, සණස ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන් ම, එම සමාගමේ ම කළමනාකාර හවුල්කරුවෙකු ලෙස ද කටයුතු කරන අතර, ඒ මහතා ගිණුම්කරණ ක්‍රියාවලි, විගණන සහ කළමනාකරණ ගිණුම්කරණය යන ක්ෂේත්‍ර පිළිබඳ සිය පුළුල් පරිචය මගින් සමාගමේ මෙහෙයුම් කටයුතු, උපාය මාර්ගික සංවර්ධනය සහ සමස්ත වර්ධන උපාය මාර්ග වෙත සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.

සණස ලයිෆ් රක්‍ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස සාක්ෂාත් කර ගැනීමට අරමුණු කරන ඉලක්ක පිළිබඳ අදහස් දක්වමින් ගජේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, ” මා සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත කාලය තුළ සණස රක්ෂණ සමාගම ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රය තුළ තවත් ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන බව අවධාරණය කිරීමට කැමතියි. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ අංක 7 ස්ථානයේ පසු වන අප සමාගම මාගේ ධූර කාලය තුළ රටේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ සමාගම් 5 අතරට ගෙන ඒම මගේ අරමුණයි.” යනුවෙනි.

නව තාක්‍ෂණය කෙරෙහි දැඩි ඇල්මකින් හා උනන්දුවකින් කටයුතු කරන ගජේන්ද්‍ර මහතා, විශේෂිත ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ දක්වන ප්‍රවීණතාව හරහා විධිමත් මෙන් ම විනිවිදභාවයකින් යුතු සමස්ත ආයතනික ක්‍රියාවලියක් නිර්මාණය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් කළ යුතු ම කරුණකි.

අනාගතය සඳහා වන අභියෝගවලට සාර්ථක ව මුහුණ දීම පිළිබඳ අවධානය යොමු කරමින් ඒ මහතා විසින් ගනු ලැබූ තීන්දු තීරණ අතරින් දත්ත එක් රැස් කිරීම ආදී ක්‍රියාවලි සඳහා කෘතිම බුද්ධිය (AI) වැනි අගය එකතු කළ තාක්ෂණික නවෝත්පාදනයන් භාවිත කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීම විශේෂිත වේ.

මෙම දත්ත නිසා, ගොවි සහ ධීවර ප්‍රජාව වැනි අවම වරප්‍රසාද සහිත, මෙතෙක් බොහෝ ආයතන ස්පර්ෂ නොකළ ජන කණ්ඩායම් වෙත ළඟා වීමේ හැකියාව සණස ලයිෆ් රක්ෂණ සමාගම වෙත ලැබී ඇති අතර, මෙම ජනතාව, ජීවිත රක්‍ෂණයෙන් තමා වෙත ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව බොහෝ දුරට නිසි දැනුවත් භාවයක් නොමැති බව ගජේන්ද්‍ර මහතාගේ අදහසයි.

සුළු පරිමාණ ගොවි ජනතාවට සිය මූල්‍ය අභියෝග ජය ගැනීම සඳහා උපකාර කිරීම තුළින් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ ආරම්භය සනිටුහන් වූ අතර, සිය ආරම්භක ආචාර ධර්මවලට අනුකුල ව විවිධ ජන කොටස් වෙත ළඟා වෙමින්, ඔවුන් වෙත ජීවිත රක්‍ෂණ විසඳුම් ලබා දීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කරයි.

ගජේන්ද්‍ර මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම ක්‍රියාවලිය තවත් ප්‍රශස්ත කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මෙන් ම සියලු ම ජන කොටස් වෙත දැරිය හැකි ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම අරමුණු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *