ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ව්‍යාපෘතිය සාර්ථකයි

(කොළඹ | ලංකාපුවත්) – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය ආරම්භ කරන ලද අපනයනය ඉළක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාව මේ වනවිට සාර්ථක වී තිබේ. මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගාව ශ්‍රී ලංකාවේ රජය මැදීහත් වී ක්‍රියාත්මක කරන පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතියයි.

නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව ගොවීන් 52කගේ දායකත්වයෙන් හරිතාගාර 40ක මෙම වගාව ආරම්භ කර ඇත.

වගාව ආරම්භ කර දැනට මාස දෙකක් පමණ ගත වී ඇති අතර ඊයේ (07) එම වගාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

ඊජිප්තුවේ සිට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැළ මෙම ගොවීන් අතර බෙදාහැර තිබෙන අතර මෙම වගාව සඳහා වන සියලු මුල්‍ය ප්‍රතිපාදන හා තක්ෂණික දායකත්වය ගොවීජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සපයා තිබේ.

නුවරඑළිය ස්ට්‍රෝබෙරි වගාව සදහා වර්ග අඩි 1000 ටනල් හවුස් 40ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සියයට 25 සහන පදනමක් යටතේ සපයා තිබේ. ඒ අනුව ටනල් හවුස් සකස් කර ගැනීම සඳහා වැය වන මුදලින් සියයට 25ක් අදාල ගොවීන් විසින් දැරිය යුතු අතර ඉතිරි සියයට 75ක මුදල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දී තිබේ.

අප රටේ ස්ට්‍රෝබෙරි වගාව සිදු කළ හැක්කේ නුවරඑළියේ සීමිත ප්‍රදේශයක පමණක් වන අතර අනෙක් ප්‍රදේශ ඊට සුදුසු නොවේ. මෙම සුවිශේෂිත බෝගය සඳහා ඉහළ ඉල්ලුමක් ජාත්‍යන්තර වෙළෙඳපළ තුළ පවතී.

මේ වනවිට නුවරඑළිය ස්ට්‍රෝබෙරි වගාවේ මල් පිපෙන සමය ආරම්භ වී ඇත. තවත් මාස එකහමාරකින් පමණ අස්වනු නෙලා ගැනීම ආරම්භ කළ හැකි බව ගොවීහූ පවසති.

මෙම ආදර්ශ වගාව තුළ දෙවෙනි අදියර යටතේ ස්ට්‍රෝබෙරි අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම ක්‍රමය මගින් දැනට වඩා පැළ ප්‍රමාණයක් වගා කිරීම මගින් අස්වනු වැඩි කර ගැනීමට හැකිවනු ඇත. මේ වනවිට මව් ශාකවලින් අලුත් පැළ හටගෙන ඇති නිසා එම පැළ අලෙවි කිරීම මගින් මේ වනවිට ගොවි ජනතාවට ආදායම් ඉපයීමට හැකි වී තිබේ.

මෙම නව වගාව පාත්තිවල වගා කිරීම වෙනුවට වගා මළුවල (Grow Bags) වගා කිරීම හා බින්දු ජල තාක්ෂණය උපයෝගී කර ගැනීම මගින් නව කෘෂි තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් වගා කිරීමට ගොවි ජනතාවට උපදෙස් දී ඇත.

වගාකරුවන් තෝරා ගැනීමේ දී තරුණ ප්‍රජාවට ප්‍රමුඛත්වය ලබා දීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙහිදී වගා කරුවන් හමුවූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ස්ට්‍රොබෙරි වගාව මෙන්ම ජාත්‍යන්තර වෙළෙද පළේ ඉහළ ඉල්ලුමක් ඇති වෙනත් වගාවන් සඳහා ද අවශ්‍ය පහසුකම් ලබා දෙන බව ද සඳහන් කළේය. ස්ට්‍රොබෙරි වගාව මෙතෙක් කිසිදු අවස්ථාවක මේ තරම් සංවිධානාත්මකව රාජ්‍ය අංශයේ මැදිහත්වීම යටතේ සිදු නොකළ බව සඳහන් කළ අමාත්‍යවරයා ඉහළ ආදායමක් උපයා ගත හැකි මෙවැනි වගාවන් පුළුල් කිරීම සඳහා රජය සෑම විටම අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *