ඓතිහාසික දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනපති සහභාගිත්වයෙන්

(කොළඹ | ලංකාපුවත්) –  සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පරම පුජනීය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබන ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (14) පෙරවරුවේ සිදුවිය.

ශ්‍රී ලංකාවේ පවතින විශාලතම මහා දාගැබ් අතරින් සිව්වන ස්ථානයේ පවතින දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරම්භ කරන ලද අතර, සොළොස්මස්ථාන අතරින් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබූ අවසන් චෛත්‍යය මෙය වීම විශේෂත්වයකි.

හේවිසි පූජා මධ්‍යයේ ප්‍රධාන කරඬුව තුල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමෙන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් කරඬු වහන්සේලා සහ නිධන් වස්තු අලංකාර පෙරහැරකින් දීඝවාපි චෛත්‍යරාජයාණන්ගේ ධාතු ගර්භය වෙත වැඩම කරවීම සිදු විය.

ඉන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඓතිහාසික දීඝවාපි මහා සෑයේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ පූජනීය නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් සිදු විය.

මේ අතර දීඝවාපි පුදබිමේ අභිනවයෙන් ඉදි කරන ලද ධාතු මන්දිරය, දුර බැහැර සිට දීඝවාපිය වෙත පැමිණෙන ජනතාව වෙත නවාතැන් පහසුකම් සැලසීමේ අරමුණින් ඉදි කල සුවිසල් කාමර 20 කින් හා විශාල ප්‍රමාණයේ ශාලා 4කින් සමන්විත ‘අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කිරීම ද මෙහිදී සිදු විය.

මෙහිදී අදහස් දැක්වු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ දීඝවාපිය චෛත්‍යයේ සහ මුහුදු මහා විහාරය ඇතුළු සිද්ධස්ථානවල ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කළ බවයි. “දීඝවාපිය අරුණ භාරය” නමින් අරමුදලක් ස්ථාපිත කර දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රැස්කළ බව සඳහන් කළ ඒ මහතා මේ වන විට මහා දාගැබ අඩි 62.3ක් ඉහළට ඉදිකර තිබෙන බවත්, මෙහි එක අඟලක් ඉදි කිරීමට ස්ථූප ගඩොල් 72,000ක් අවශ්‍ය වන බවත් පැවසීය. මේ සඳහා ශ්‍රම දායකත්වය ත්‍රිවිධ හමුදාව විසින් සපයනු ලබන අතර බැතිමත් ජනතාව ලබාදෙන නොමද අනුග්‍රහය ද අගය කරන බව ඒ මහතා සඳහන් කළේය.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ, නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක දීඝවාපිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, හිටපු අමාත්‍ය දයා ගමගේ, පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය තුසිත මැන්දිස් යන මහත්වරු සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *