(කොළඹ | ලංකාපුවත්) – රටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩ පිළිවෙළ 2024 මහ කන්නයේ සිට ආරම්භ කිරීමට නියමිත අතර ඒ අනුව දැනට වැඩිම වී අස්වැන්නක් රටට ලබා දෙන අනුරාධපුර, හම්බන්තොට, පොලොන්නරුව, මහනුවර, අම්පාර හා මොණරාගල කෘෂිකාර්මික බලප්‍රදේශවල කුඹුරු ආශ්‍රිතව වැඩිම අස්වැන්නක් ලබා ගැනිමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට නියමිතය.
වගා කන්න හයක් තුළ මෙට වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීම මෙම වැඩ පිළිවෙලෙහි අරමුණ වේ.
දැනට අප රටේ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. 2024 සමස්ත ජාතික වී අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 4.1කි. 2023 වර්ෂයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 4.5ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව මේ වනවිට අපේ රටේ ජාතික අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතී.
වී වගාවේ වැඩිම නිෂ්පාදන විභවයක් ඇති ඉහත සඳහන් කළ බල ප්‍රදේශවල හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 3.5 සිට මෙට්‍රික් ටොන් 07 දක්වා වැඩි කිරීම ප්‍රධාන අරමුණ වේ. දැනට වලවේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් කුඹුරුවලින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 11ක් වැනි ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ද හැකි වී තිබේ.
මෙම ඉළක්කය ජයගැනීම සඳහා තාක්ෂණික පැකේජයක් ගොවීන්ට හදුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව තැටි නඟුල භාවිතය ප්‍රචලිත කිරීම, ලේසර් තාක්ෂණය යොදා ගනිමින් ලියැදි මට්ටම් කිරීම හා කුඩා ලියදි එක්කර විශාල ලියදි සෑදීම, පැරෂුට් තැටි භාවිතා කර බෝග සංස්ථාපනය කිරීම, ඒකාන්තර තෙත් හා වියළි ජල සම්පාදන ක්‍රමවේදය හඳුන්වා දීම, පාංශු පෝෂක කළමණාකරණය, ජෛව පොහොර නිෂ්පාදනය මෙම තාක්ෂණික පැකේජයට අයත් වේ.
දැනට අප රටේ බොහෝ කුඹුරුවලින් ලැබෙන අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 1 සිට 2.5 දක්වා අඩු ප්රමාණයකි. මෙම අස්වැන්න කිසිසේත්ම එම ගොවීන්ට නිෂ්පාදන වියදමවත් ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් නැත. එමනිසා දැනට හෙක්ටයාර් එකකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් ගොවි ජනතාවට හඳුන්වා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මීට අමතරව පළමු වරට දිවයිනේ සියලුම වී ගොවීන්ට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් නොමිලයේ බෙදා හැරීම ද 2024 මාස් කන්නයේ සිට සිදු කිරීමට කටයුතු යොදා ඇත. මෙම බණ්ඩි පොහොර තොගය ලෝක ආහාර වැඩ පිළිවෙළ මගින් ශ්‍රී ලංකාවට නොමිලයේ ලබා දීමට එකඟත්වය පළ කර ඇත.