පූර්ණ වශයෙන් රට බංකො‍ලොත් වීමට ඉඩ ‍නොදී රට බේරාගත්තේ ජනපති රනිල් – කැස්බෑව එක්සත් ජාතික පක්ෂ කළාප සංවිධායක රනිල් විල්ලද්දරගේ

(කොළඹ | ලංකාපුවත්) – පූර්ණ වශයෙන් රට බංකොලොත් වීමට ඉඩ නොදී රට බේරා ගනිමින් ව්‍යවසායකයින් සඳහා සුබදායි පරිසරයක් නිර්මාණය කර දීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ බව කැස්බෑව එක්සත් ජාතික පක්ෂ කළාප සංවිධායක රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය.

රනිල් විල්ලද්දරගේ මහතා මෙම අදහස් පළ කර සිටියේ කැස්බෑව ආසනයේ තරුණ පිරිසක් ඊයේ (29) හමූවූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්ලද්දරගේ මහතා,

“ආර්ථික අර්බුදයෙන් පසු රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති නොකළේ නම් ව්‍යවසායකියන් ලෙස අප දැඩි අර්බුදයකට මුහුණ දීමට තිබූ අතර ඒසේ වූයේ නම් පුද්ගලික අංශයේ විශාල කඩා වැටීමකට ලක් වීමට තිබුනා. පෞද්ගලික අංශයේ මිලියන 6 ක පමණ සේවකයින් පීඩාවට පත් වීමට තිබූ අවස්ථාවක් වලක්වා ගනිමින් අර්බුදය කළමනාකරණය කර ගැනීමට හැකි වීම රට ලැබූ භාග්‍යයක්. වැටුණු රට ස්ථාවර භාවයට ගෙන එමින් පරිනත දේශපාලඥයකු ලෙස සිය වගකීම හා අභියෝගය නිවැරදිව ජයගත් නායකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දිය හැකියි.

ඇතැම් නායකයින් මෙම අභියෝගය භාර නොගනමින් බැහැර වූ අවස්ථාවක තමන්ගේ වාසි නොතකා රට ගැන සිතා පැවති අර්බුදය කළමනාකරණය කරමින් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රට ස්ථාවරත්වයකට ගේන ඒමට ජනාධිපතිතුමා කටයුතු කළා. රටක් පාලනය කරන්න කෙටි ක්‍රම නැහැ. ඒ වගේම රටක් හදන්න ජනප්‍රිය නොවන තීරණ ගන්න සිදුවෙනවා. ඒ සදහා නායකත්වය, අද්දැකීම් හා තීරණ ගැනීමේ හැකියාව නායකයකුට වැදගත් වෙනවා.

ආර්ථික අර්බුදයක් ඇතිවන ඕනෑම රටක සමාජවාදී අදහස් ගොඩනැගෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු පවා මෙවැනි දේවල් ඇතැම් රටවල සිදුව තිබෙනවා. නමුත් ඒවා එම අවස්ථාවේ ඇතිවන ප්‍රවණතාවයක් පමණයි. සමාජයක් හෝ රටක් ඉදිරියට ගෙන යාමට ඉන් හැකියාවක් නැහැ. තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන වගේම අනුන්ට දෙයක් කළ හැකි තැනකට ඇවිත් දේශපාලනයට එන්න ඕනේ. එවිට රට තුළ වංචා හා දූෂණ සිදුවීම අඩු වෙනවා. එය රටේ ආනගතයට සුබයි. ” යනුවෙන් රනිල් විල්ලද්දරගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *