දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ

(කොළඹ | ලංකාපුවත්) –  අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ “pravesha”” වෙබ් අඩවිය එළිදැක්වීම ඊයේ (22) පෙරවරුවේ නෙලුම් කුළුණ පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

අද (23) දින සිට www.pravesha.lk වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ මගී ජනතාවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් පෝලිමේ රැදී නොසිට මිල දී ගැනීමට අවස්ථාව ලැබේ. දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිලදී ගත හැකිවන අතර මුදල් ගෙවූ පසු sms පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකථනය වෙත ප්‍රවේශපතේ QR කෝඩ් එක එවනු ලැබේ.

එම QR කෝඩ් එක අදාල දුම්රි ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් ගමන් කරන දිනය තුළ දී පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමි වේ. ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබාගත හැක.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු.රංජිත් ගංගනාත් රූබසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්,මහජන බැංකුවේ සභාපති ඇතුළු පිරිසක් එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *