කඩාවැටුණු ආර්ථිකයක් ඉතා කෙටි කාලයත් තුළ ගොඩගත් ලෝකයේ ඇති එකම රට ශ්‍රී ලංකාවයි

(කොළඹ | ලංකාපුවත්) – කඩාවැටුණු ආර්ථිකයක් ඉතා කෙටි කාලයක් තුළ ගොඩගත් ලෝකයේ ඇති එකම රට ශ්‍රී ලංකාව බවත් එහි ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

හලාවත පැවති ජන රැළියකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“ජනතාව දැන් රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට පෙළ ගැසෙමින් සිටිනවා. පෙට්‍රල්, ඩීසල්, ගෑස්, විදුලිය, ප්‍රවාහනය මේ සියල්ල නැතිව රට වැටිලා තිබුණු වෙලාවේ අර්බුදයෙන් රට ගොඩගත්ත නිසා අපි සියලු දෙනා එකතුවෙලා රනිල් වික්‍රමසිංහ මහතාව දිනවිය යුතුයි. භය නැතිව, විශ්වාසය ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාරගත්තා. සජිත්, අනුර භාර ගන්නේ නැතිව මග හැරලා යද්දි අභියෝගය භාර ගත්ත නායකයා දිනවීමට අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා.

පෝලිම් වල මිනිස්සු මැරුනා, බෙහෙත් ටික නැතිව මිනිස්සු මැරුනා, රැකියාවට යන්න තෙල් ටික ගහගන්න පැය ගණන්, දවස් ගණන් පෝලිම්වල දුක් වින්දා. එහෙම තිබුනු රටක්, රටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ මහතා භාරගත්තා.

අපි හෘදසාක්ෂියට අනුව රට ගොඩගත් නායකයාට යුතුකම ඉටු කරලීමට රනිල් වික්‍රමසිංහ මහතා එලබෙන 21 වෙනිදා මේ රටේ ජනාධිපති කළ යුතුයි. භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 10 ක් නැතිව තෙල් නැව් නිදහස් කරගන්න විදියක් නැතිව දවස් ගානක් තිබුනා. රැකියාවට යන්න තෙල් ටික නැහැ. ධීවර කර්මාන්තයට යන්න විදියක් නැහැ. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රට තිබුනු තත්ත්වය ගැන හිතලා බලන්න. තෙල් ටික ගන්න, බෙහෙත් ටික ගන්න එල්සී එකක් ලංකාවේ බැංකුවකින් නිකුත් කළාම අනෙක් රටවල් පිලිගත්තේ නැහැ.

අවුරුදු දෙක හමාරකට පස්සේ අද රට දිහා බලන්න. ගොඩගන්න බැහැ කියපු, කවුරුත් භාර ගත්තේ නැති රට රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ දැම්මා. අද සංචාරකයෝ එනවා. එදා සංචාරකයින්ට එන්න එපා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ. ඒත් සංචාරකයින් ආවා. විදෙස් ශ්‍රමිකයින්ට සල්ලි එවන්න එපා කියලා කිව්වා. අද හෝටල් කාමර සංචාරකයින්ගෙන් පිරිලා. උද්ධමනය අඩුවෙලා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා. බඩු මිල අඩු වෙනවා. ඉන්ධන, බෙහෙත් මිල අඩු වෙනවා. මේ අවුරුදු දෙක තුළ අර්බුදයෙන් රට මුදවගෙන තියෙනවා.

රටක් ආර්ථික වශයෙන් වැටුනට පසු කෙටි කාලයක් තුළ ගොඩගත්ත ලෝකයේ තියෙන එකම රට අපේ රටයි. අපේ ආර්ථිකය වැටෙනකොට බංගලිදේශය අපිට ණය දුන්නා. බංගලිදේශයට අද මොකද වෙලා තියෙන්නේ. අරගලකාරයෝ බංගලිදේශය විනාශ කරලා. ආර්ථිකය කඩාගෙන වැටිලා. ඒ තත්ත්වයට ආයේ මේ රට පත් කරනවද ? අපිට ඒ තත්ත්වයට පත් වෙන්න ඕනේ නැහැ. මේ රට යළිත් වලපල්ලට නොවැටෙන්න 21 දා රනිල් වික්‍රමසිංහ මහතාට ජන්දය ලබා දෙන්න. බුද්ධියට ඉඩ දීලා, හැගීම් වලට වහල් නොවී මේ රට ගොඩගන්න නිපුණතාවය තියෙන, ජත්‍යන්තර සබඳතා ඇති, පලපුරුදු නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමට කටයුතු කරමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *