ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Serendib Delights’ ආහාරපාන පෙර-ඇණවුම් සේවාව දියත් කරයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානාවල Economy පන්තියේ ගමන් කරන මගීන් වෙනුවෙන් ‘Serendib Delights’ නමින්, ආහාරපාන කල්තබා ඇණවුම් කිරීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී සේවාවක් ආරම්භ කර තිබේ.

මෙමගින් මගීන්ට තම ගුවන් ගමනට පෙර, ඉතාමත් සැලකිල්ලෙන් යුතුව පිළියෙල කරන ලද ආහාරපාන එකතුවක් අතරින් තමන් කැමති ආහාරපාන ඇණවුම් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙමගින් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරන මගීන්ට තම ගුවන් ගමන වඩාත් ප්‍රසන්න අත්දැකීමක් බවට පත්වනු නො-අනුමාන ය.

‘Serendib Delights’ සේවාව යටතේ මගීන්ට සැමන් ස්ටේක්, චිකන් ලම්ප්රයිස්, ෆිලට් ස්ටේක්, ෆිෂ් ෆ්‍රිටර්ස්, බීෆ් බර්ගර්, සීල්ෆුඩ් පායි මෙන්ම අරාබි, ඉන්දියානු සහ බටහිර ආහාරපාන සම්ප්‍රදායන්ට අයත් තවත් ආහාරපාන වර්ග රාශියක් කල්තබා ඇණවුම් කළ හැකි වේ.

මෙම රසවත් ආහාරපාන සියල්ලම, නැවුම් අමුද්‍රව්‍ය යොදාගනිමින් උසස්ම ප්‍රමිතියෙන් යුතුව පිළියෙල කරනු ලබයි. මගීන් සියලුම දෙනාට තම රුචිකත්වයන් සහ විශේෂ අවශ්‍යතාවන් අනුව ආහාරපාන ලබාගැනීමට හැකි වන පරිදි Vegetarian, Vegan සහ Gluten-free යනාදී වශයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ ආහාරපාන තෝරාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. ශ්‍රී ලංකාවේදී මෙන්ම ශ්‍රීලංකන් ජාලයට අයත් අනෙකුත් ස්ථානවලදී පිළියෙල කරනු ලබන ආහාරපාන සියල්ලටම හලාල් සහතිකය හිමි වී ඇත.

“අපගේ මගීන් සියලුම දෙනාට තම ගුවන් ගමන්වලදී සුවිශේෂී අත්දැකීමක් තිළිණ කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. ‘Serendib Delights’ යනු මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂඥ සූපවේදීන් විසින් පිළියෙල කරනු ලබන ප්‍රණීත ආහාරපාන සහනදායී මිලගණන් යටතේ ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී සේවාවක්.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (වාණිජ සේවා හා සහය) ගයාන් වික්‍රම මහතා පැවසී ය.

‘Serendib Delights’ සේවාව හරහා ආහාරපාන ඇණවුම් කිරීමේදී ගුවන් යානය පිටත් වීමට නියමිත වෙලාවට අවම වශයෙන් පැය 48 කට පෙර අදාළ ඇණවුම් ලබාදිය යුතු ය. ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හරහා මෙන්ම ශ්‍රී ලංකාවේදී නම් 1979 දුරකථන අංකය ඔස්සේද, ශ්‍රී ලංකාවෙන් පිටතදී නම් +94 777 77 1979 දුරකථන අංකය ඔස්සේද පැය 24 පුරා ක්‍රියාත්මක සහය සේවාව ඇමතීමෙන් හෝ තම සංචාරක සේවා නියෝජිතයා හරහා ආහාරපාන ඇණවුම් කළ හැකි වේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරන මගීන්ට ‘Serendib Delights’ සේවාවට අමතරව යාබද අසුනේ කිසිවෙක් නොමැති ආසන ඉල්ලා සිටීම, දෙපා තබාගැනීමට වැඩි ඉඩක් සහිත ආසන ඉල්ලා සිටීම, කල්තබා ආසන වෙන්කරවා ගැනීම, සංචාරක රක්ෂණ, කලින් ගෙවා වැඩි බරකින් යුත් භාණ්ඩ රැගෙන යාම, විශේෂ අවස්ථා සඳහා කේක් වර්ග ඇණවුම් කිරීම සහ ව්‍යාපාරික පන්තියේ ආසන ඉල්ලා සිටීම වැනි සේවාවන් රාශියක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකි වේ.

‘Serendib Delights’ සේවාවේ මෙනු පත් පරීක්ෂා කිරීම සඳහා https://www.srilankan.com/en_uk/flying-with-us/premium-meals වෙත පිවිසෙන්න. නැතිනම් ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ජංගම යෙදුම භාවිතා කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *