නව පුනරුද යුගයේ ඇරැඹුමට එක්වෙන්න – නව ජනපති අනුර කුමාර දිසානායක

(කොළඹ | ලංකාපුවත්) –  නව පුනරුද යුගයක් සඳහා එක්වන ලෙස ජයග්‍රාහී අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සියලු රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි. සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි.

මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ. ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය.

අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප‍ කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දස ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතුය.

සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුසල්මානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැඟෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *