රටම අනුරට

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ දේශපාලන වංශකථාවට නව පරිච්ඡේදයක් එක්කරමින් නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් පෙරේදා (21) පැවැති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 57ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමත් විය.

ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද මත සියයට 50ක ප්‍රතිශතයක් ලබාගැනීමට කිසිදු අපේක්ෂකයෙකු සමත් නොවීම හේතුවෙන් මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට දෙවැනි මනාප ගණන් කිරීමක් සිදුවූ අතර, අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5,634,915ක් විය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 42.31ක් වූ අතර, මනාප ගණන් කිරීමේ දී ඒ මහතා ලබාගත් ඡන්ද 105,264 ද සමඟින් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,740,179කි.

රටපුරා පිහිටි මැතිවරණ කොට්ඨාස 160 අතරින් 106ක් ජය ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වූ අතර, සමස්තයක් ලෙස මැතිවරණ දිස්ත්‍රික්ක 15ක් ජය ගැනීමට සමත් විය. ඒ අනුව තැපැල් ඡන්ද ලබාගැනීමේ දී දිස්ත්‍රික්ක 19ක් ජය ගැනීමට සමත්ව තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට අනුරාධපුරය (285,944), පුත්තලම (207,134), මාතලේ (140,544), කුරුණෑගල (544,763), ගම්පහ (809,410), කෑගල්ල (247,179), කොළඹ (629,963), කළුතර (387,764), ගාල්ල (366,721), මාතර (287,662), හම්බන්තොට (221,913), රත්නපුර (291,708), මොනරාගල (140,269), පොලොන්නරුව (130,880) සහ මහනුවර (394,534) දිස්ත්‍රික්ක ජය ගැනීමට අනුර කුමාර දිසානායක මහත් සමත් විය.

දෙවැනි ස්ථානයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොට්ඨාස 48ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, සමස්තයක් ලෙස දිස්ත්‍රික්ක 7ක් ජය ගත්තේය. ඊට අමතරව එක් දිස්ත්‍රික්කයක තැපැල් ඡන්ද දිනා ගැනීමද සමත් වූ අතර, ඒ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් විය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 32.76ක් වූ අතර, මනාප ගණන් කිරීමේ දී ලබාගත් ඡන්ද 167,867 ද සමඟින් සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 4,530,902 කි. ඒ අනුව යාපනය (121,177), වන්නි (95,422), ත්‍රිකුණාමලය (120,588), මඩකලපුව (139,110), දිගාමඬුල්ල (200,384), බදුල්ල (219,674) සහ නුවරඑළිය (201,814) දිස්ත්‍රික්කයන්හි ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය.

මේ අතර තෙවැනි ස්ථානයට පැමිණි ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු ආසනයක් හෝ දිස්ත්‍රික්කයක් ජය ගැනීමට සමත් නොවූ අතර, දිස්ත්‍රික්ක දෙකක තැපැල් ඡන්ද පමණක් ජය ගත්තේය. ඒ අනුව ඡන්ද 2,299,767ක් ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතා සියයට 17.27ක ප්‍රතිශතයක් හිමිවිය. කෙසේ වුවද පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිදු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය. ඊට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 342,781ක් ලබාගැනීමට සමත් වූ අතර, එය ප්‍රකාශිත ඡන්ද අතරින් සියයට 2.57කි. ඊට අමතරව පී අරියනේත්‍රන් මහතා ඡන්ද 226,343ක් සහ දිලිත් ජයවීර මහතා ඡන්ද 122,396ක් ලබාගැනීමට ද සමත් වූහ.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වූ අතර, එයින් එක් අපේක්ෂකයෙකු මැතිවරණයට පෙර අභාවප්‍රාප්ත විය. ඒ අනුව මෙවර ඡන්ද දායකයින් 17,140,354 දෙනෙකු ඡන්දය ලබාදීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර එයින් ඡන්ද දායකයෝ 13,619,916 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 79.46ක් වූ අතර, ඡන්ද 300,000ක් ප්‍රතික්ෂේප කෙරිණි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 2.2ක් විය.

මැතිවරණ දිස්ත්‍රික්ක 22ක, ඡන්ද කොට්ඨාස 160ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 13421කදී ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කළ අතර, මෙවර ජනාධිපතිවරණය, ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග කළ ජනාධිපතිවරණය විය. කෙසේ වුවද කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණු අතර, ඒ අනුව අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහත්වරු හැර සෙසු අපේක්ෂකයන් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමට අදාළව ඡන්ද දායකයින්ට තමන් කැමති අපේක්ෂකයින් තිදෙනෙකු කැමැත්තේ අනුපිළිවෙළ අනුව නම් කිරීමට ඡන්ද පත්‍රිකාවේ ඉඩ සලසා දී තිබූ අතර, ඒ අනුව ප්‍රකාශිත ඡන්දයෙන් සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් කිසිදු අපේක්ෂකයෙකු හිමි කර නොගැනීම හේතුවෙන් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතට අදාළව දෙවැනි මනාපය ගණන් කිරීම සිදුවිය.

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ පළමු වරට දෙවැනි මනාපය ගණන් කිරීම මෙවර සිදු කෙරුණු අතර, එහිදී ඡන්ද 167,867ක් හිමිකර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් වූ අතර, අනුර කුමාර දිසානායක මහතාට හිමි වූයේ ඡන්ද 105,264 කි. ඒ අනුව දෙවැනි මනාප ගණන් කිරීමේ දී සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඡන්ද 62,603ක් හිමි විය. ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා අද (23) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *