යුද හමුදාවට අපහාසාවන අයුරින් වීඩියෝ හදලා

(කොළඹ | ලංකාපුවත්) –  පසුගිය දින කිහිපයේදී යුද්ධ හමුදාවට අපහාසාත්මක වන අයුරින් වගකීමෙන් තොර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් යුද්ධ හමුදාව අපකිර්තියට ලක් කිරීමේ අරමුණින් සහ මහජනතාව යුද්ධ හමුදාව කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු කිරීමත් , ඔවුන් තුල යුද්ධ හමුදාව කෙරෙහි වෛරය ඇති කිරීම අරමුණු කරගනිමින් යුද්ධ හමුදාව සබැඳිව අසත්‍ය කරුණු ඇතුලත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කරයි.

යුද්ධ හමුදාවේ ඉදිරි ප්‍රගමනයක් නොමැති සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් ලබාදෙන අසත්‍ය තොරතුරු පිළිබදව නිසි සොයා බැලිමක් නොමැතිව සහ එම තොරතුරු නිසි ක්‍රමවේදයකට අනුව තහවුරු කරගැනීමකින් තොරව, මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සිය පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ප්‍රසිද්ධ කර ගැනීමේ පටු අරමුණින් මෙම වීඩියෝ පට නිර්මාණය කිරීමට කටයුතු සිදුකර ඇත.

මෙම වීඩියෝ පටවල සඳහන් වන පරිදි යුද්ධ හමුදා කඳවුරු වල භටපිරිස් නව ස්ථානයන්හි ස්ථාන ගත කිරීම ක්‍ෂණිකව ගත් තීරණයක් නොවන අතර, මෙය යුද්ධ හමුදා යතායෝග්‍ය හා ප්‍රමාණකරණ සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන දීර්ඝකාලීන සැලැස්මක කොටසක් ලෙස සිදුවේ. තවද, යුද්ධ හමුදාවේ අණ හා පාලන කටයුතු සන්නද්ධ හමුදා සේනාධිනායක, ආරක්‍ෂක අමාත්‍යවරයාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධික්‍ෂණය යටතේ සහ උපදෙස් පරිදි සිදුවේ.

ඒ අනුව, වගකීම් විරහිත පුද්ගලයන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික වාසි තකා මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිව අසත්‍ය තොරතුරු මෙසේ සමාජ ගතකිරීම මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මහජනතාව අතර දීර්ඝකාලීනව පවතින සුහදත්වය පලුදු කිරීමේ අසාර්ථක උත්සාහයක් ලෙස මෙවැනි ක්‍රියා පෙන්වා දිය හැකි අතර, මේ හේතුවෙන් ඉදිරියේදි වක්‍රව ජාතික ආරක්‍ෂාවටද තර්ජන එල්ලවිමේ හැකියාවක් ඇතැයි යුද හමුදාව සදහන් කරයි.

ඉතා සුළු පිරිසක් විසින් සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය සහ වෛරය පතුරන ප්‍රකාශ වගකීමෙන් යුතුව යුද්ධ හමුදාව විසින් තරයේ හෙලා දකින අතර, පවතින රජයට පක්ෂපාතීව රටේ ජාතික ආරක්ෂාවට සෘජුවම වගකියන යුද්ධ හමුදාවේ කීර්තිනාමයට හානි පමුණුවමින් ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට ජනතාව නොරැවටෙන ලෙසත් යුද්ධ හමුදාව කෙරෙහි පවතින විශ්වාසය කිසිදු අයුරකින් පලුදු කර නොගන්නා ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *