විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක්

(කොළඹ | ලංකාපුවත්) – ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට විශ්වාස කටයුතු වාර්තා වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එමෙන්ම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් දන්වා ඇත.

එබැවින් කිසියම් සැක කටයුතු කටයුත්තක් හෝ හදිසි අවස්ථාවකදී 119 අමතන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, විදේශ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනය කර ඇත.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මතය.

මේ වන විට මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම පියවර ගෙන තිබේ.

එම නිවේදනය මෙසේය,

ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මඟින් නිරීක්ෂණය වී ඇත.

මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව විදේශීය ජාතිකයින් ඇති කර ගනු ලබන විශ්වාසය මෙන්ම ගෞරවයටද මහඟු අවස්ථාවක් උදාවීමකි.

විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය පවතින රාජ්‍යක් ලෙස මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව, ඔවුන් අපේක්ෂා කරන සතුට විනෝදය මෙන්ම දැනුම නිදහස්ව ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම අප කාගේත් වගකීමක් බවට පත් වේ.

ඒ අනුව මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී පොලිස් සංචාරක කොට්ඨාසය තවදුරටත් ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර සියලුම පොලිස් ස්ථාන වලට මේ පිළිබඳව විශේෂ උපදෙස් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කිරීමට නියමිතය. මේ මූලික පියවරක් වශයෙන් ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරණ ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකයට දැනුම් දීමේ අවස්ථාව අද දින සිට උදා වනු ඇත.

සංචාරක හෝටල් හිමිකරුවන්, මෙන්ම ඒවායේ කාර්ය මණ්ඩලයන්, ඒවාගේම ක්ෂේත්‍රයේ නියුතුව සිටින සියලුම පුද්ගලයින් මේ වන විටත් කරගෙන යනු ලබන කාර්යභාරය ඉතා අගය කරනු ලබන අතර ඉදිරියේදී සංචාරකයන්ගේ ජීවිත හා දේපල ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ සීමාව තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ක්‍රියා කරනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරනු ලබයි. ඕනෑම අවස්ථාවක ඔවුන්ට අයත් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයන් සම්බන්ධීකරණය කර ගැනීමෙන් කටයුතු කළ හැකි අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථානයන් වෙත ලබා දෙනු ඇත. බාහිර සොර සතුරන්ගෙන් ඇති විය හැකි තර්ජනයන් මෙන්ම යම් යම් සේවකයන්ගෙන්ද ඇති විය හැකි කරදර හිරිහැර පිළිබඳව මෙහිදී සියළු පාර්ශවයන් අවධානය යොමු කළ යුතු අතර ශ්‍රී ලංකා පොලීසිය නව වැඩපිළිවෙලක් සහිතව මේ පිළිබඳව ඉදිරියේ දී ක්‍රියා කරනු ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *