(කොළඹ | ලංකාපුවත්) – ලොවම බලා සිටි අමෙරිකාවේ ජනාධිපතිවරණය නිමාවට පත්වූයේ 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට පත් කරමිනි. මීට පෙර 2016 දී අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පළමු වතාවට ධවල මන්දිරයට ගිය මේ රිපබ්ලිකානු අපේක්ෂකයා මෙවර ධවල මන්දිරයට යන්නේ 47 වැනි ජනාධිපතිවරයා ලෙසටය.
ඔහු හමුවේ පරාජයට පත්වූයේ 60 හැවිරිදි කමලා හැරිස් ය. ඇය වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ උපජනාධිපතිවරිය වූවාය. මිලියන 160කට අධික ඡන්දදායකයන් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිත කළ ද, ජනපති හා උපජනපති තෝරාගනු ලබන්නේ එක් එක් ප්‍රාන්තවල ස්ථාපිත කර ඇති සමස්ත නියෝජිතයන් 538 දෙනකුගෙන් සමන්විත Electoral College ක්‍රමවේදයෙන් බැවින් ජනපතිවීමට ලබාගත යුතු මුළු ඡන්ද ප්‍රමාණය ඉන් 270ක් පමණි. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමේ අන්තිම මොහොත වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් එම Electoral College ඡන්ද 279ක්ම ලබා සිටි අතර, කමලාට ලැබි තිබුණේ ඡන්ද 223ක් පමණි. ඒ වෙද්දී තවත් ප්‍රාන්ත 4ක ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට ඉතිරිව තිබිණි. ඒ වෙද්දී ට්‍රම්ප් ඡන්ද මිලියන 71කුත්, කමලා හැරිස් ඡන්ද මිලියන 66කුත් ලබා සිටියහ.
ඉන්දියාවේ තමිල්නාඩු සම්භවයක් ඇති කමලා හැරිස් ජනාධිපති වූයේ නම් ඇය එම ධුරයට පත්වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසගතවීමට ඉඩ තිබිණි. ඊට පෙර ඒ සිහිනය දකිමින් සිටියේ කමලාගේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වූ හිලරි ක්ලින්ටන්ය. 2016 වසරේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදිනිය වූයේ හිලරි ය. ට්‍රම්ප් ජනපති සටන ජයගත් දෙවතාවේදීම ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයෝ කාන්තාවන්වීම විශේෂත්වයකි. එමෙන්ම ඒ දෙවතාවේදීම සටන ජය ගැනීමට ට්‍රම්ප් සමත්වීමත් විශේෂත්වයකි.
රිපබ්ලිකන් අපේක්ෂකයන් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමරන්නට වූයේ ඡන්ද විමසීම නිමාවට පත්වූ පෙරේදා රාත්‍රියේ සිටමය. ඒ වන විට ට්‍රම්ප් සහ කමලා දෙදෙනාම කරට කර තරග කරමින් සිටියත් මැතිවරණ ප්රචාරක රැලි ආරම්භ වූදා පටන් ට්‍රම්ප්ගේ ‘පොසිටිව්’ හැසිරීම හා කතාබහ කමලාගේ ‘මැඩම් ප්‍රසිඩන්ට්’ වීමේ සිහිනය එහෙම පිටින්ම කුඩුපට්ටම් කිරීමට ප්‍රබල සාධකයක් විය.
2020 ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න් හමුවේ පරාජයට පත්වීමෙන් පසු පෙරේදා පැවති ඡන්ද විමසීම දක්වා අපකීර්තියට, නින්දාවට හා ගර්භාවට ආදි වශයෙන් නොයෙකුත් හැලහැප්පීම් කන්දරාවකට මුහුණ දුන් මේ විස්මිත මිනිසා ඒ සියල්ල හමුවේ නැඟී සිටීම එක අතකින් ඔහුගේ දිරියසම්පන්නභාවයට නිදසුනකි. ලිංගික අතවර චෝදනා කෙසේ වෙතත් අපරාධ චෝදනා එල්ල වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ද ඔහු විය.
දරුවන්ටත් දරුවන් සිටින මහලු වියේ පසුවූවද ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කාන්තාවන් අරබයා පැතිරී ගිය ගොසිප්වලට ඇත්තේ සෑහෙන දීර්ඝ ඉතිහාසයකි. ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී වැඩි කාලයක් යෑමට පෙර එල්ල වූ අපකීර්තිමත් චෝදනාව වූයේ නිල් චිත්‍රපට නිළියක හා නිදි වැදීම හා එය රහසක් වශයෙන් තබා ගැනීමට ඇයට විශාල මුදලක් ගෙවීමය. ඔහු වරදකරු වූයේ එම මුදල සිය ව්‍යාපාරයේ ගිණුමෙන් සැඟවීමෙනි. ආදායම් බදු වංචාවකට පමණක් නොව 2020 ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු එහි නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබූ ජනවාරි 6 වැනිදා සිය හිතවාදීන් රොත්තක් රැගෙන අගනුවර කැරැල්ලක් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීමෙන් තවත් චෝදනාවකි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද උසාවි ගාණේ රස්තියාදු ගසමින් කාර්යබහුලව සිටියදීමය. ඒ සියල්ල මැද පෙන්සිල්වේනියාවේ මැතිවරණ ප්රචාරක රැස්වීමක් අතරතුර ඔහු වෙඩි පහරකින් ජීවිතය බේරා ගත්තේ අන්තිම නූලෙනි. මේ ජයග්‍රහණයට ඒ සියලු බාධක හා අභියෝග වෙස්වළාගත් ආශීර්වාදයක් බව ඔහුට සිතෙන්නට ඇත.
එහෙත් කමලා හැරිස්ට නම් කුමක් සිතුණේදැයි තවම වාර්තා වි නැත. මැතිවරණය පැවැති දිනයේ රාත්‍රියේදි සුපුරුදු ලෙස ‘පාටි’ දැමීම සාමාන්‍ය දසුනක් වුවත්, රාත්‍රිය වෙද්දී එන්න එන්නම ට්‍රම්ප්ගේ වාසියට ප්‍රතිඵල නිකුත්වීම නිසා ඇය ඒ ‘පාටිය’ අවලංගු කළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිලරි ක්ලින්ටන් ද එවැනිම ‘පාටියක්’ පැවත්වූ අතර, අලුයම් කාලයේදී කෙටි නින්දකට වැටුණේ එරට පළමු ජනාධිපතිනිය ලෙස ඇහැරීමේ බලාපොරොත්තුව ඇතිවය. කමලා හැරිස්ට ද එසේ වන්නට ඇත.
මෙවර ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ මෙන්ම කමලාගේ ද දැඩි අවධානය යොමුවූයේ රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පක්ෂ අතර වරින් වර දෝලනය වන පාවෙන ඡන්ද ඇති ප්‍රාන්ත 7 වෙතටය. ඒවා සැලකෙන්නේ යුදපිටි හැටියටය. ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් ඕනෑම ඡන්දයකදී මේ දෙපාර්ශ්වයටම තීරණාත්මකය. මැතිවරණ ප්රචාරක කටයුතුවලදී වැඩි බරක් යොදන්නේ ද එම ප්‍රාන්තවලටය. කෙසේ වෙතත් මේ ප්‍රාන්ත අතුරින් විස්කොන්සින්, උතුරු කැරොලිනා, ජෝර්ජියා හා පෙන්සිල්වේනියා ප්‍රාන්ත හතරේම ජයග්‍රහණය අත්කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්වීම ජනපතිවීමට බලපෑ තවත් සාධකයකි.
ජනපතිවීමේ පූර්ණ විශ්වාසයකින් මුල සිටම සිටි ට්‍රම්ප් සිය ජයග්‍රාහී දේශනය සිදු කළේ මැතිවරණ ප්‍රතිඵල නිමාවටත් පෙරය. අමෙරිකාවට යළි වසන්තය උදාවූ බව ඔහු කියද්දී ඔහුගේ පාක්ෂිකයන් ඔල්වරසන් දුන් බවත්, කවදත් එවැනි ඔල්වරසන්වලින් උද්දාමයට පත්වන ට්‍රම්ප් සිය තුන්වැනි බිරිය මෙලනියා සමඟ ජනපති ධුරය අතැතිව වසර 4කට පසු පළමුවතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. එම ජයග්‍රාහී දේශනය අතරතුර ඔහු ලොව ලොකුම ධනවතා ඉලෝන් මස්ක්ට නොසෑහෙන්න ස්තුති කළේ ඔහු වෙනුවෙන් පෙනී සිටීම නිසාය. අනතුරුව ඔහුගේ උපජනාධිපති හැටියට පත්වීමට නියමිත ජේ.ඩී. වැන්ස්ට සහ කෙනඩි පවුලේ සාමාජිකයකු වන රොබර්ට් එෆ්. කෙනඩිටත් තුති පළ කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හෝ ඔහු ජනපති ධුරයට පත්වීම හෝ වසර 4කට පසු නැවත රිපබ්ලිකන් පක්ෂයට පාර්ලිමේන්තුවේ බලය ලැබීම නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමට පෙර තවත් පියවර රැසක් ඉතිරිව තිබේ. සියලු ප්‍රාන්තවල ඡන්ද ගණනය කිරීමෙන් පසු ඉදිරි දින කිහිපය වෙන් වන්නේ එම ඡන්ද ප්රතිඵලවල නිවැරැදිභාවය සහතික කිරීම සඳහා ය. ඊළඟට දෙසැම්බර් 17 වැනිදා සියලු ප්‍රාන්තවල Electoral College ඡන්ද තහවුරු කර ගැනීම සහ සහතික කිරීම සඳහා ඡන්ද විමසීමක් ද, ලබන වසරේ ජනවාරි 6 වැනිදා එම ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම ද සිදු වීමට නියමිතය. ජනපති කවුරුන්දැයි නිල නිවේදනය සිදු කරනු ලබන්නේ එම ඡන්ද විමසීමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලබන සෙනෙට් සභාවේ සභාපති විසිනි. සාමාන්‍යයෙන් අමෙරිකානු සෙනෙට් සභාවේ මුල්පුටුව හොබවනු ලබන්නේ එරට වත්මන් උප ජනාධිපතිවරයා විසින් වන අතර, මෙවර එම අවස්ථාව උදා වී ඇත්තේ ඩිමොක්රටික් පක්ෂයේ පරාජිත අපේක්ෂිකා කමලා හැරිස්ටය. එය ද ඉතිහාසගත වන අවස්ථාවක් වනු ඇත. මීට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ දෙදෙනකු එලෙස සිය ප්‍රතිවාදියාගේ ජයග්‍රහණය නිවේදනය කර තිබිණි. උප ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ රිචඩ් නික්සන්ට සහ අල් ගොර්ට පිළිවෙළින් 1961දී සහ 2001දී සහ 2001දී නව ජනාධිපතිවරයා ලෙස නිවේදනය කිරීමට සිදුවූයේ එවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ජෝන් එෆ්. කෙනඩිගේ නම සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ නම් ය. දැන් කමලා හැරිස් එම වාර්තාවේ තුන්වැන්නිය වීමට නියමිතය. ඇගේ කාර්යභාරය වන්නේ ජනාධිපතිවරයා නිල වශයෙන් නිවේදනය කිරීම පමණක් නොව ඒ සඳහා විරෝධතා තිබේදැයි විමසීමය. ඒ අභියෝගයත් ජය ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වන්නේ නම් ලබන වසරේ ජනවාරි 20 වැනිදා ඔහු මීළග වසර 4 සඳහා අමෙරිකාවේ ජනපති ධුරයේ දිවුරුම් දෙනු ඇත.
එය වාර්තා පිට වාර්තා තබන දිවුරුම්දීමක් වනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාපොතට එක්වන්නේ අමෙරිකාවේ ජනපති ධුරයට පත්වූ වයස්ගතම පුද්ගලයා හැටියටය. අද වන විට ඔහුගේ වයස අවුරුදු 78කුත්, දින 146කි. මීට පෙර එම වාර්තාව හිමිවූයේ ජෝ බයිඩ්න්ටය. ඔහු 2020 ජනපති වෙද්දී අවුරුදු 78කුත්, දින 61කි. එපමණක් නොව වසර 132කට පසු අඛණ්ඩ නොවන අවස්ථා දෙකකදී අමෙරිකාවේ ජනපති ධුරයට පත්වූ පළමු පුද්ගලයා ද ට්‍රම්ප් ය. ඊට පෙර 1885 සිට 1889 දක්වාත්, 1893 සිට 1897 දක්වාත් අඛණ්ඩ නොවන අවස්ථා දෙකකදී අමෙරිකාවේ ජනපති ධුරයට පත්වූ එකම පුද්ගලයා ග්‍රෝවර් ක්ලෙවෙලන්ඩ් ය. කවදත් පුවත් මවන්නකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනපතිවීම ඔහුගේ ආදරණීය බිරිය මෙලනියා සහ වැඩිම රාජකාරි ගොන්නක් පැවරි තිබූ දියණිය ඉවන්කාට යළි වැඩ වැඩි වීමේ කාලයක් වනු ඇත.