විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතුයි -ජනපති කියයි

(කොළඹ | ලංකාපුවත්) –  අල්ලස් හෝ දූෂණ කොමිසම මඟින් 2021 වසරේදී පැවැරූ නඩු 69න් 40ක් සහ 2022 වසරේ පැවරූ නඩු 89න් 45ක් ඉල්ලා අස්කරගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමට එක් වෙමින් ඊයේ (09) ප්‍රකාශ කළේය.

මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු සහ විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

“සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු” තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම සිදු කෙරිණි. එක් වසරකදී කොස්තාපල්වරු දෙදෙනෙක්, ග්‍රාම නිලධාරිවරයෙක් සහ ලිපිකරුවෙක් අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව විසින් වරදකරුවන් කරනු ලැබ ඇති බවත් ශ්‍රී ලංකාවේ නීතිය මකුළුදැලක් ලෙස ක්‍රියාත්මක වන බවට ජනතාව අතර විශ්වාසයක් පවතින බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, පොඩි සතුන් එම දැලට හසුවන බවත් ලොකු සතුන් මකුළුදැල බිඳගෙන යන බවත් කියා සිටියේය. දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වැනි ස්ථානයේ පැවැති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115 වැනි ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාවේ අල්ලස හෝ දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන්නේ දැයි තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැඟුවත් ඒවා හොබවන පුද්ගලයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ද කීවේය.

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වසරෙන් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදුව ඇති බවත් එය ලබන වසරේදී අවම කර ගැනීමට නොහැකි නම් ජාත්‍යන්තර දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

යළි අපේ රට ගොඩනඟනවා නම් රාජ්‍ය පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය බව පෙන්වාදුන් ජනාධිපතිවරයා එසේ නොකර සුවපත් රාජ්‍යයක් ඇති කිරීමට නොහැකි බව ද කියා සිටියේය.

නීතිය ක්‍රියාත්මක කරන පුද්ගල සහ ආයතන පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති නිසා යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීම ද යුක්තිය ඉටු කිරීමක් නොවන බව ද පෙන්වා දුන්නේය.

එම නිසා ශ්‍රී ලංකාව අල්ලස හෝ දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බව ද පුරවැසියාගේ බලාපොරොත්තුවලට වටිනාකමක් ලබාදීමට එමඟින් හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්. එම්. එන්.පී. ඉද්දවෙල, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්ම මහත්මීහු ඇතුළු විදේශ තානාපතිවරු හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *