අසිරිමත් නත්තල උදාවෙයි

(කොළඹ | ලංකාපුවත්) – සාමයේ කුමරුන්ගේ පණිවුඩය රැගත් අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයේ උදාවිය.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුනු ජනතාව සමග එක්ව ලාංකික කිතුනු ජනතාවද නත්තල සැමරුවේ මහත් භක්තියකිනි.

මෙරට ප්‍රධාන දේව මෙහෙය ජාඇල වික්ෂෝප මාතා දේවස්ථානයේදී පැවැත්වුණි.

මැදියම් රැයේ ආරම්භ වූ දේව මෙහෙය මෙහෙයවනු ලැබුවේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසිනි.

මේ අතර නත්තල් දින ආරක්ෂාව සඳහා පොලිස් ස්ථාන මට්ටමින් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ ය.

බෙත්ලෙහෙමේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂ උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වන අතර නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.

අදින් වසර 2024කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කිරීමට යැයි කිතුණු බැතිමත්හු විශ්වාස කරති.

ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද කටයුතු කළ උත්තමයෙක් සේ ලෝවැසියෝ පිළිගනිති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *