(කොළඹ | ලංකාපුවත්) – දූෂිත දේශපාලන තන්ත්රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත් ස්ථාවරව ඉදිරියට යමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් කියා සිටියි.
එම පණිවිඩයේ දක්වා ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කර ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව ජාතික පුනරුදයකට පෙළ ගැසිය යුතු බවයි.
අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුය. රුහිරෙන් කඳුළින් අරගල කළ ඉතිහාසයේ සියලු විරුවන්ගේ කැප කිරීම්වල අපේක්ෂාව වූයේ ද එයයි. ඒ අනුව පුද්ගලිකවත් සාමූහිකවත් අප ඒකීය පද්ධතියක් ලෙස සමාජයීය, පාරිසරික හා ආචාර ධර්ම සහිත මං ඔස්සේ සංවර්ධිත නූතන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟිය යුතු යැයිද ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
නව රජය ලෙස එහිදී පසුගිය මාස හතර තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින්, දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස බැලීම හා සැලකීම කෙරෙහි ජනතාව මෙහෙයවීම හා නීති බලගැන්වීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ අපගේ මුඛ්‍ය පරමාර්ථ සාධනය කර ගැනීම සඳහා වූ ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී එළැඹුම සනිටුහන් කරමින්, අවදානමට ලක්වූ හා ලක්විය හැකි කිසිඳු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යන්ත්‍රණ සැකසීම, අපට මඟහැරුණු නව්‍ය විද්‍යා හා තාක්ෂණ දියුණුව අත්පත් කර ගැනීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීම, දූෂිත පාලකයන් සිටින රටක් ලෙසවූ පූර්ව නිගමනය බැහැර කර ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමඟ වඩා විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යළි ශ්‍රී ලංකාව සන්නාම ගත කිරීම යන කාර්ය වෙත අපගේ අවධානය යොමුවිය යැයිද එහි දැක්වේ.
අපගේ පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවායාමට මේ වන විට සමත්ව සිටිමු. ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකූලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කර ගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාමයි. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, නිදහස පිළිබඳ වූ නූතන සුසමාදර්ශයක් ගොඩනැඟීමේ කාර්යය හා එක්වන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි යනුවෙන් ද සඳහන් කර තිබේ.