ක්‍රීඩා සහ තරුණ කටයුතු ප්‍රවර්ධනයට අනු කමිටු දෙකක්

(කොළඹ | ලංකාපුවත්) –  මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් අනු කමිටු දෙකක් පත් කෙරේ.

ඒ අනුව ක්‍රීඩා කටයුතු අනු කමිටුව සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන නීතිඥ නිලන්ති කොට්ටහච්චි , රුවන් මාපලගම, මයිල්වාගනම් ජෙගදීස්වරන් , නීතිඥ හිරුනි විජේසිංහ යන මහත්ම මහත්මීන් පත්කරන ලදී. එමෙන්ම තරුණ කටයුතු සඳහාවූ අනු කමිටුව වෙනුවෙන් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන ලසිත් භාෂණ ගමගේ, දිනිඳු සමන්, කෝසල නුවන් ජයවීර යන මහත්වරුන් පත්කරන ලදී. එහිදී ස්වකැමත්ත මත අනෙකුත් මන්ත්‍රීවරයන්ට එම අනු කමිටු හා සම්බන්ධ වී වැඩකටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.

මෙලෙස අනුකමිටු පත් කෙරුණේ තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනි දා පාර්ලිමේන්තුවේදී පළමු වරට රැස්වූ අවස්ථාවේදීය. මේ අවස්ථාව සඳහා තරුණ කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාද එක්ව සිටියේය.

මෙහිදී දිවයින පුරා ක්‍රීඩාවේ මෙන්ම තරුණ කටයුතු පිළිබඳව පවතින ගැටලු හා එම අංශ ශක්තිමත් කිරීම සඳහා යෝජනාවන්ද ගරු මන්ත්‍රීවරයන් විසින් ඉදිරිපත් කළහ. උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම කඳුකරයේ දරුවන් ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව ප්‍රශස්ථ මට්ටමක නොතිබීම හා ඒ හේතුවෙන් ඔවුන් සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමුවීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බව ගරු මන්ත්‍රීවරයන් අවධාරණය කළහ.එම නිසා ක්‍රීඩාව කෙරෙහි දරුවන් නැඹුරු කිරීම සඳහා දැනුවත් කිරීම් මුලික කරගත් වැඩසටහනක අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ජා කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපති අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ක්‍රීඩාව මෙරට ජාතික සමගිය ඇතිකිරීමේ ප්‍රභල සාධකයක් බව පෙන්වා දෙමින් මෙරට සියලු පළාත්වල ක්‍රීඩාව සම්බන්ධ ගැටලු පවතින බව පෙන්වා දුන්නේය. ක්‍රීඩාව සම්බන්ධව පවතින විවිධ ගැටලු පිළිබඳව ලිඛිතව අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසත් ,අමාත්‍යාංශය මැදිහත්ව මෙරට ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සියලුම ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව, කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසුවේය. තවද මෙරට ක්‍රීඩාව දියුණු කිරීමේ මුවාවෙන් සිදු කර ඇති දුෂණ ,අක්‍රමිකතා හඳුනාගෙන අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

තවද පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් කුඩා කළ සිට හඳුනාගනිමින් එම හඳුනාගත් තොරතුරු එක් පද්ධතියක නොතිබීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. ඒ අනුව එම තොරතුරු එක් පද්ධතියක පැවතීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා මේ වන විට ස්වෙච්ඡාවෙන්ම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විසින්, දත්ත රැස්කිරීමේ පද්ධතියක් නිර්මාණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් පෙන්වා දුන්නේය.

එමෙන්ම තරුණ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයන් ජාතික තරුණ සේවා සභාවේ සිදුව ඇති දුෂණ අක්‍රමිකතා පිළිබඳවද කරුණු ඉදිරිපත් කළහ.ඒ අනුව ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

මේ අතර 2022 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව අනුමතිය සඳහා කාරක සභාවට ඉදිරිපත් කර තිබුනද එම වාර්තාව අධ්‍යනය කිරීමට කාලය අවශ්‍ය බැවින් ඉදිරියේදී නැවත කාරක සභාව තුළ එම වාර්තාව සළකා බැලීමට තීරණය කෙරිණි.

මෙම කාරක සභා රැස්වීම සඳහා අමාත්‍යවරුන් , නියෝජ්‍ය අමාත්‍යවරුන් , කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *