ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 69,380ක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වර්ෂයේ ගත වූ මාස 06 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 69,380 දිවයින මුළුල්ලෙන්ම වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.26%ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 20 වන සතිය තුළදීය.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව වසංගතරෝග විද්‍යා ඒකකය පවසයි.

වාර්තාවන දත්තවලට අනුව ඩෙංගු වැළදුණු රෝගීන්ගෙන් සියයට 30කට ආසන්න සංඛ්‍යාවක් ළමුන් ය. ඒ අනුව ඩෙංගු වැලඳීමෙන් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනු ලැබේ.

දරුවන් මදුරු දෂ්ඨනයන්ට ලක්වන අවස්ථා පිළිබඳව අවධානයෙන් සිටීම, මේ දිනවල දරුවන්ගේ ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ඇඳුම් ඇන්දවීම, දරුවන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල මදුරුවන් බෝ විය හැකි පරිශ්‍රයන් ඇත්දැයි සොයා බැලීම ආදිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතු වේ. මෙම මදුරු දෂ්ඨනයන් වැඩි වශයෙන් සිදු වන්නේ පාද ආශ්‍රිතව බැවින් ඒ පිළිබඳවත් අවධානයෙන් සිටිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *