ළමුන් තිදෙනෙක් අපයෝජනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ සාම්පල DNA පරීක්‍ෂණයකට

(කොළඹ, ලංකාපුවත්) – බාලවයස්කාර දැරියන් තිදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමකට අදාළව එහි ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පල ඩී.එන්.ඒ. පරික‍්‍ෂාවක් සදහා රජයේ රස පරීක්‍ෂකවරයාට යොමු කර සති දෙකක් ඇතුලත වාර්තාවන් කැදවීමට මුතූර් මහේස්ත්‍රාත්වරයා අද(10) නියෝග කර තිබේ.

ජාතික ළමා ආරක්‍ෂක අධිකරිය, මුතූර් මහේස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියොගය ලබා දී ඇත.

මෙම අපයෝජනය පසුගිය මැයි මාසයේ දී සිදුව තිබුණි. ඊට අදාළ විමර්ශන මුතූර් පොලිසිය මගින් සිදු කරමින් පැවතුණි. නමුත් එම විමර්ශන මගින් වින්දිත පාර්ශවයන්ට වුක්තිය නිසි ලෙස ඉටු නොව බවට පැමිණිල්ලක් අධිකාරිය වෙත ඉදිරිපත් වී තිබුණි. ඒ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීම නිරතු වූ ළමා ආරක්‍ෂණ අධිකාරිය, අද මේ සිදුවීමට අදාළ නඩුව කැදවූ අවස්ථාවේ දී වින්දිතයින් වෙනෙුවෙන් පෙනී සිටින ලදි.

එහිදී වින්දිතයන් වෙනුවෙන් අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සහ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශයේ සහකාර කළමනාකරු නීතිඥ යෂාලි අබේසුන්දර මහත්මිය පෙනී සිටියේය.

එහිදී ඔවුන් වින්දිත ළමුන් තිදෙනාගේ වීඩියෝ සාක්‍ෂි පටිගත කිරීම සදහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ සදහා ද අවසර ලැබුණි.

මෙම විමර්ශනයේ වැඩිදුර පරීක්‍ෂන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එසේම යළි ලබන සැප්තැම්බර් මස 11වනදා මෙම නඩුව කැදවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *