ඇමති රවීට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ හෙට (26) පෙනී සිටින ලෙස එම කොමිසම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාට සිතාසි නිකුත් කර තිබේ.

කොමිසම හමුවේ අද(25) සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට දන්වා තිබුණද ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් කොමිසමට දන්වා තිබුනේ වෙනත් කාර්ය හේතුවෙන් එදින කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවය.

මේ අතර ඊයේ(24) කොමිසම හමුවේ කෙරුණු සාක්ෂි විභාගයේදී මුදල් අමාත්‍යවරයා සහ අර්ජුන් ඇලෝසියස් අතර සබඳතාවක් ඉස්මතු කරන ආකාරයේ සාක්ෂියක් ඉදිරිපත් විණි.

කොමිසම හමුවේ පෙනී සිටි එම් විනෝදනී විජේසූරිය නම් සාක්ෂිකාරිය කියා සිටියේ, කොළඹ 3, කොල්ලුපිටියේ පිහිටි මොනාර්ක් රෙසිඩන්සීස් නම්වූ නිවාස සංකීර්ණයේ ඇති තමන්ට හිමි නිවාසය අමාත්‍ය රවී කරුණානායක ගේ පවුල වෙත තමා බදු දුන් අතර එම බදු කුලිය ගෙවන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් බවය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *