කාන්තාවන් සිහිසුන් කර කොණ්ඩ කපන හොරු

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාවන් සිහිසුන් කරමින් ඔවුන්ගේ කෙස්වැටි කපා ගෙන යන “කොණ්ඩා හොරුන්”පිරිසක් පිළිබඳව ඉන්දියාවේ ‘හර්යානා’ සහ ‘රාජස්තාන්’ ප්‍රාන්ත දෙකේ පොලිසිවලට පැමිණිලි ලැබෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාව දැක්වේ.

එම කාන්තා පැමිණිලි මගින් ප්‍රකාශ වෙන ආකාරයට කොණ්ඩා හොරුන් ක්‍රියාත්මක වන්නේ රාත්‍රී කාලයේ පමණි.

මේ කොණ්ඩා සොරකම පිළිබඳව පළමු වාර්තා ලැබුණේ රාජස්තාන් ප්‍රාන්තයෙනි.

ජූලි මාසයේ ලද රාජස්තාන් වාර්තාවලින් අනතුරුව ඊට සමාන සොරකම් දිල්ලි අගනුවරින් සහ හර්යානා ප්‍රාන්තයෙන් ද වාර්තා වෙයි.

“මගේ මූණට සැර ‘ලයිට්’ එළියක් එල්ල වුනා.ඒ එක්කම මට සිහි නැති වුනා. පැයකට විතර පස්සේ මට සිහිය ආවම තේරුණා – කවුරු හරි මගේ කොණ්ඩය කපාගෙන ගිහින් කියල” හර්යානා ප්‍රාන්තයේ පනස් තුන් හැවිරිදි සුනීතා දේවි ප්‍රකාශ කළාය.

පසුගිය සතියේ සිකුරාදා මුහුණ දුන් එම සිද්ධියේ පටන් සුනීතා දේවී මානසික කම්පනයකින් පසුවන්නීය.

“මට දැන් නින්ද යන්නේ නැහැ, සිහි කල්පනාව අඩුයි. රාජස්තානයේත් මේ වගේ සිද්ධි වුනා කියල මට ආරංචි වුනා. ඒත් මට මේ වගේ දේකට මුහුණ දෙන්න සිද්ධ වේවි කියල මම කවදාවත් හිතුවේ නැහැ” සුනීතා දේවි වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *