කිසිඳු රහස් කඳවුරක් වත්මන් රජයට නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මොවුන් සිය ගැටලු සහ ඉල්ලීම් දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

මේ රටේ සෑම ජන කොටසකගේම ගැටලු පිළිබඳ මනා අවබෝධයක් තමාට තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඉතා විවෘතව සහ සාධාරණ ලෙස එම ගැටලුවලට විසඳුම් ලබාදීමට තමන් ඇතුළු රජය කැපවී සිටින බව ප‍්‍රකාශ කළේය.

රජයේ සිර කඳවුරුවල ඇතැම් පිරිස් රඳවාගෙන සිටින බවට එල්ල වන චෝදනා පිළිඳබව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එවන් කිසිඳු රහස් කඳවුරක් වත්මන් රජයට නොමැති බවත්, කිසිඳු පිරිසක් එලෙස රඳවාගෙන නොමැති බවත්ය.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පැමිණිලි, ඉල්ලීම් සහ තොරතුරු එක් රැස් කිරීම සඳහා නව අයදුම්පතක් දිස්ති‍්‍රක් ලේකම්වරුන් හරහා යොමු කිරීමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිතුමා මෙම දෙසැම්බර් 15 වන දිනට පෙර එම තොරතුරු එක් රැස් කරන ලෙස සියලු දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත චක‍්‍ර ලේඛයක් නිකුත් කිරීමට ද උපදෙස් දුන්නේය.

එම තොරතුරු අතුරුදන්වූවන්ගේ කාර්යාලය සහ අතුරුදන්වූවන්ගේ කොමිෂන් සභාව මගින් නැවත විමර්ශනය කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *