ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය 20 වැනිදා සිට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් මෙහෙයවනු ලබන 33 වැනි ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය මේ මස 20 වැනිදා සිට 22 දක්වා රාජගිරිය දියවන්නා ඔය ආශ්‍රිතව ඉදිකර ඇති දියවන්නා ඔරු පැදීමේ ක්‍රීඩා මධ්‍යස්ථානය කේන්ද්‍ර කරමින් පැවැත්වේ.

වාර්ෂික තරග ඉසව්වක් වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය මීට පෙර වසර අවසාන භාගයේදී පැවැත්වූවත් මෙවර ශූරතාවලියේ සිට එය සෑම වසරකම මාර්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාත්‍යන්තර ඔරු පැදීමේ තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කිරීමේ පහසුව අරමුණු කරමින් ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය ඉදිරියට ගත් බවත්, එය මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදෙස් තරගාවලි සඳහා සහභාගිවීමට අවශ්‍ය පසුබිම සකස් කරනු ඇති බව ශ්‍රීලංකා ආධුනික ඔරු පැදීමේ සංගමයේ අදහස වේ.

අවුරුදු 18න් පහළ, 18න් ඉහළ සහ විවෘත වශයෙන් කාණ්ඩ 3කින් සමන්විත ජාතික ඔරු පැදීමේ ශූරතාවලියට ඒකල, යුගල, ද්විත්ව හබල්, තරගකරුවන් දෙදෙනකුගෙන් සමන්විත තරග සහ තරගකරුවන් සිවුදෙනකුගෙන් සමන්විත තරග සමග බාලක බාලිකා ඔරුපැදිමේ තරග රැසක් ඇතුළත්ය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදා ඔරු පැදීමේ කණ්ඩායම සමස්ත ශූරතාව දිනාගත් අතර ජෙරී සිල්වා අනුස්මරණ අභියෝගතා කුසලාන දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා යුද හමුදා ඔරු පැදීමේ කණ්ඩායම කාන්තා විවෘත ශූරතාව දිනාගත් අතර දේවා හෙන්රි කුසලානයට හිමිකම් කීවේය.

අවුරුදු 18න් ඉහළ බාලක තරග අංශයේ ජය කොළඹ රාජකීය විදුහලට හිමිවූ අතර ශූරතාව සඳහා පිරිනැමෙන මේජර් පර්සි ප්‍රනාන්දු කුසලානය දිනාගත්තේය. එහි බාලිකා තරග අංශයේ ජයග්‍රාහිකාවන්ට හිමි ජේ.එම්.පෙරේරා කුසලානය දිනාගනු ලැබුවේ නාවික හමුදා කණ්ඩායම විසිනි.

අවුරුදු 18න් පහළ බාලක තරග ඉසව්වේ ජය ආනන්ද විදුහලට හිමිවූයේ අර්නි විජේසිංහ කුසලානය සමගය. කොළඹ කාන්තා විදුහල් පිල එම වයස් කාණ්ඩයේ ශූරියෝ බවට පත්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *