ගොවි කඳුළු පිසදා ගොවි බිම් තෙත් කරන සෙංගල්ඔය ව්‍යාපාරය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලමේ ජනතාවට උරුම වී ඇත්තේ ඉරිතලා ගිය මහ පොළොවකි. එදා මෙදා තුර දේශපාලනය තුළ විවිධ වාරි ව්‍යාපෘති කි‍්‍රයාත්මක වුවද ඒවා වර්තමානයට උචිත ලෙස සංවර්ධනය කිරීමටත්, නිවැරදි ලෙස නඩත්තු කිරීමටත් පියවර නොගැනීම හේතුවෙන් පුත්තලමේ ගොවි ජනතාව මහත් පීඩාවකට පත්ව සිටිති.

දැදුරු ඔය ඇතුළු ගංගා රැසක් ඔස්සේ මහා ජල කඳක් මහමුහුදට ගලා ගියද එම ජල කඳ රැක ගනිමින් ගොවිතැන පෝෂණය කිරීමට නිසි අවදානයක් යොමු නොවීය. මේ හේතුවෙන් පුත්තලමේ වාරි ව්‍යාපෘති ගොඩ නැගීම සඳහා විශාල පරිශ‍්‍රමයක් දැරීමට සිදුව තිබේ.

සෙංගල්ඔය වාරි ව්‍යෘපතියද මුළුමනින්ම අඅඩපණ වී තිබේ. මේ හේතුවෙන් කුඹුරු ඉඩම් පමණක් අක්කර 15000 ක් පමණ වගා කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. නිසි ලෙස ජලය සපයා ගත නොහැකිව අසරණව සිටින ගොවි පවුල් ගණන 2000 ට ආසන්නය. දැදුරුඔය හරස් කොට නිර්මාණය කර ඇති සෙංගල්ඔය වාරි ව්‍යාපෘතිය වැව් 16 ට ජලය සපයන අතිශය වැදගත් ව්‍යාපෘතියකි. ආරච්චිකට්ටුව හරහා ගලා බසින මෙම වාරි ඇල කිලෝමීටර් 16 ක් දක්වා ජලය ගෙන යනු ලබයි. ගොවි ගම්මාන 20 ක් පමණ ජලයෙන් පෝෂණය කළ සෙංගල්ඔය ව්‍යාපාරය අද වන විට නටඹුන් බවට පත්වූ නිර්මාණයක් බවට පත්ව තිබේ.

1966 වසරේ ආරච්චිකට්ටුව මයියාව විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩසිටි අතිපූජ්‍ය සද්ධාතිස්ස මහනාහිමියන්ගේ වීර්යෙන් ඉදි කෙරුණූ මෙම ව්‍යාපෘතිය නැවතත් බල සම්බන්න ගොවි ව්‍යාපාරයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබීම ඉතා වැදගත් කාරණයකි. වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් යුතුව එම කටයුතු සිදු වෙමින් තිබේ.

සෙංගල්ඔය ව්‍යාපාරය යළි බල ගැන්විමේ වැඩපිළීවෙල ලබන 09 දා පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ආරම්භ කිරීමටද මේ වන විට සියල්ල සූදානම් කර තිබේ.

දැඩි වියළි කලාපයක් වන ප‍්‍රදේශ ගණනාවක් තෙත් කළාප බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අපේක්‍ෂාවයි. අවස්ථා ගණනාවකදීම අසාර්ථක වූ සෙංගල්ඔය ව්‍යාපෘතියට ජීවයක් ලැබෙන්නේ වර්තමාන වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ආරච්චිකට්ටුවේ පිහිටා ඇති වැව් රැසක් ගැඹුරු කිරීමේ ව්‍යාපෘතියක්ද කි‍්‍රයාත්මක අතර ඊට කිසිදු මුදලක් රජයෙන් වැය නොවීම තවත් කැපී පෙනෙන කාරණයකි. උළු ගඩොල් කර්මාන්තය සඳහා සුදුසු පසක් මෙම ප‍්‍රදේශය සතුව පවතී. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැව් හාරා ඉවත් කරන පස් එම කර්මාන්තකරුවන් වෙත ලබා දීමට පියවර ගෙන තිබීම මගින් රජයේ මුදල් වැය කිරීමකින් තොරව වැව් පළල් කිරීමේ කි‍්‍රයාවලිය සිදු කිරීමට හැකි වී තිබේ.

ව්‍යාපෘතිය නිම වීමෙන් අනතුරුව පුරන්ව ගොස් තිබූ කුඹුරු ඉඩම් අක්කර 15000 ක් පමණ නැවත වගා කිරීමට අවස්ථාව උදා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *