මහතීර් මොහොමඩ් ලොව පැරණිතම ජන නායකයා බවට පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මැලේසියා මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

එරට මැතිවරණ කොමිසම සඳහන් කළේ, විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තු ආසන 220න් 115ක් ජයග්‍රහණය කර ඇති බව ය. රජයක් පිහිටුවීමට පක්ෂයක් ජය ගත යුතු ආසන සංඛ්‍යාව වන්නේ ආසන 112ක් පමණි.

මේවන විට 92 වැනි වියේ පසුවන මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එලෙස ජයග්‍රහණය කළේ, වසර 60කට අධික කාලයක් පාලක පක්ෂය ලෙස ක්‍රියා කළ බරිසාන් ජාතික සන්ධානය පරදවමිනි.

මහතිර් මොහොමඩ් අද දින සිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ

ඉන් අනතුරුව ඔහු මැතිවරණයකින් තේරීපත් වූ ලොව වයස්ගත ම ජනනායකයා බවට පත්වනු ඇත.

මැතිවරණ ජයග්‍රහණය හමුවේ අද සහ හෙට දෙදින ජාතික නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට මැලේසියානු රජය පියවර ගෙන තිබේ.

මීට පෙර 2013 වසරේදී පැවති මැතිවරණයේදී මැලේසියානු විපක්ෂයට විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වුවත් රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් නොවීය.

රාජ්‍ය අරමුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් සොරකම් කළ බවට මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට චෝදනා එල්ල වන අතර මෙය ඔහුගේ පරාජයට මූලික හේතුවක් වන්නට ඇතැයි මැතිවරණ විචාරකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *