ත්‍රීරෝද රථවලට හා යතුරුපැදිවලට ඉදිරියේ දී අලුත් පෙට්‍රල් වර්ගයක්

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පත්වීම් ලැබූ ඉංජිනේරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට අද(19)එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඒ සඳහා වූ පරීක්ෂණය මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“පහුගිය කාලේ අපිට පෙට්‍රල්, ඩීසල් සහ ලාම්පු තෙල්වල මිල වැඩි කරන්න සිදු වුණා. මමත් ආණ්ඩුවත් එය සිදු කළේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ගැටළු ප්‍රශ්න විසඳා ගැනීමට ඇතැම් විට අපිට අකමැති දේවල් කරන්නත් සිදු වෙනවා.

එයින් මහජනතාවට සිදුවන පීඩාව ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අපි දැන් අලුත් විදියට සිතමින් වෙනත් ක්‍රමවලින් මහජනතාවට සහනයක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැන මේ වන විට සොයා බලමින් සිටිනවා.

ඒ අනුව ආර්ථික සහනයක් ලබා දිය හැකි සේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට අපි මේ වන විට අත්හදා බලමින් සිටිනවා. එය බෙහෝ විට සාර්ථක වනු ඇතැයිද අපි විශ්වාස කරනවා.”

අද මේ පත්විම් ලබන සියලු දෙනාම එක් වන්නේ මේ රටේ හදවතක් වගේ ආයතනයකට. ලොව ගොඩාක් ආයතනවලට තෙල් පිරිපහදුවක් නැහැ. නමුත් අපට තියෙනවා.

එය වසර පනහක් පරණයි. නමුත් එය තවමත් අපිට පවත්වාගෙන යන්න හැකිවී තිබෙන්නේ සංස්ථාවේ ඉංජිනේරුන්ගේ දක්ෂතාවය නිසා. අපි වසර 3කට සැරයක් මේ පිරිපහදුව යාවත්කාලීන කරනවා.

එය අපි සාර්ථව පසුගිය කාල‍යේ සිදු කළා. ඉදිරියටත් ඔබේ අලුත් අදහස් සමඟ නව තාක්ෂණය එක් කරමින් මේ ආයතනය සාර්ථකව ඉදිරියට ගෙන යාමට ඔබ සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද මම මේ අවස්ථාවේ පවසනවා.“

උත්සව සභාවට අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර ඇතුළු අමුත්තන් රැසක් එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *