ශ්‍රී ලංකා – වියට්නාම අගමැතිවරු හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රාජ්‍ය සබඳතා පමණක් නොව පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ හා ජනතාව අතර සබදතා ද ශක්තිමත් කළ යුතු බව වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා පවසයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාව පැවැත්වුණේ වියට්නාම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ය. දෙරට අතර ආර්ථික, දේශපාලන, ආගමික, සමාජීය හා ව්‍යාපාරික අංශ අතර හුවමාරු වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණි.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය වියට්නාමයේ හැනොයි නගරය කේන්ද්‍රකර ගනිමින් ලබන වසරේ දී පැවැත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කෙරුණි. බෞද්ධ නියෝජිත පිරිස් හුවමාරුකර ගැනීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන ලදි. දෙරටේ ඓතිහාසික සබඳතා පිළිබද සොයා බැලීමට ඒකාබද්ධ විද්වත් කමිටුවක් කඩිනමින් පිහිටු විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වියට්නාම ජාතිකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අපේක්ෂාවෙන් සිටි. ඒ හේතුවෙන් සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණි. ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සපයන බව රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේය. දෙරට අතර වීසා රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ලබන නොවැම්බර් මාසයේ දී වියට්නාමයේ සංචාරයකට එක්වීමට නියමිතය. අනතුරුව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හුවමාරු වැඩසටහන් සංවිධාන කිරීමට මෙහිදී තීරණය කෙරුණි. දෙරට අතර ධීවර කර්මාන්තය පිළිබද අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමට අග්‍රාමාත්‍යවරුන් එකඟ විය. ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට අග්‍රාමාත්‍යවරුන් සහතික කළේය. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *