ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීමේ අභිලාෂය ඇතිව දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර කඩිනම් හමුවක් සංවිධානය කිරීමට අග්‍රාමාත්‍යවරු දෙපළ අද (12) තීරණය කළහ.

ලාඕසයේ අග්‍රාමාත්‍ය තොංල්‍යුන් සිස්‍යුලිත් (H.E. Thongloun Sisoulith) හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අවස්ථාවේ ද්විපාර්ශවික සාකච්ඡා පැවැති අතර, එහිදී තවදුරටත් අවධාරණය කෙරුණේ සංස්කෘතික සබඳතා ශක්තිමත් කරලීම ඔස්සේ සකස් වෙන ශක්තිමත් පදනම මත, වර්තමාන වෙළඳ, ආයෝජන හා ව්‍යාපාරික සම්බන්ධතාවන් ද තව තවත් පුළුල් කළ යුතු බවය.

ශ්‍රී ලාංකිකයනට ලාඕසයේ වීසා රෙගුලාසි ලිහිල් කරලීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සිස්‍යුලිත් මහතා වෙත සිය කෘතවේදීත්වය පළ කළේ ය.

2009 වසරේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය සිහිපත් කරමින් අදහස් දැක්වූ සිස්‍යුලිත් මහතා වික්‍රමසිංහ මහතාට ලාඕසයේ සංචාරයක යෙදෙන මෙන් ද ආරාධනා කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසින්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *