මාලදිවයින් අත්අඩංගුවේ සිටි ධීවරයින් 21ක් නිදහස් කර ගනියි

(කොළඹ, ලංකාපුවත්) –මාලදිවයින රජය මඟින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත් ධීවරයින් විසිපස්දෙනාගෙන් ධීවරයින් 21 දෙනෙකු රජය මැදිහත්වීමෙන් නිදහස් කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා කියයි.

ධීවර යාත්‍රා 04 හි නියමුවන් සිව්දෙනා පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු මාලදිවයින් රජය රඳවාගෙන ඇති බවත් ඔවුන් ද නිදහස් කර ගැනීමට සහ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හතර ඉදිරියේ දී නිදහස් කරගැනීම පිළිබඳව මාලදිවයින තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරන බවත්, එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ද මාලදිවයින් රජය දැනුවත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරන බව ඇමැතිවරයා පවසයි.

ධීවරයින් නිදහස් කළද ඔවුන් මෙරටට රැගෙන ඒමට විදේශ ගමන් බලපත්‍ර ඔවුන් ළඟ නොමැතිවීම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් ඔවුන්ට අවශ්‍යම විදේශ ගමන්බලපත්‍ර හැකි ඉක්මනින් සකසා ඔවුන් ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමට ඉදිරියේ දී කටයුතු කරන බවද ඇමැතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *