නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් එක් දිනකදී අනුමත කරන්න

(කොළඹ, ලංකාපුවත්) – ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේදී පවතින දැඩි නීතිරීති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට වන නිසා නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

පවතින නීති රීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි උපරිමයෙන් අවම කිරීම රජයේ වගකීමක් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරීන් සමඟ ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සැලසුම් අනුමැතිය සඳහා පළාත් පාලන ආයතන වෙත බලතල ලබාදීම සහ සෙසු ආයතන කඩිනමින් ඊට අදාළ ප්‍රතිපාදන සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද උපදෙස් දෙනු ලැබිණ. දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබඳ දැනුමක් ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙසද එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් අතර අනුකූලතා සහතිකය දිනකදී ලබාදීම අනිවාර්ය කළේය.

පළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහන පොලී ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට ලක්විය. සැලසුම් අනුමත කිරීමේදී එකම නීතිය ක්‍රියාත්මක නොකොට භූ විෂමතා සැලකිල්ලට ගෙන නිර්දේශයන් ලබාදීම කෙරෙහිද මෙහිදී අවධානයට ලක් වී තිබේ. පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතින් රාජ්‍ය ආයතන මඟින්ම සිදු කර ආයෝජන මණ්ඩලයට දැනුම්දීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමඟින් විදෙස් ආයෝජකයින් දිරි ගැන්වෙන ගැන්වී ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට ද අවස්ථාව උදාවන බවද එහිදී සාකච්ඡාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *