වරාය අධිකාරියට අයත් J C T OIL BANKහි 2016 වසරේ ලාභය සියයට 113කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව – JCT Oil Bank) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව සියයට 113කින් වර්ධනය වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ ඊයේ (20) පැවැති උත්සවයකට එක්වෙමිනි. නව වසර පිළිගැනීමේ අරමුණින් සහ සමාගමේ ගිණුම් විස්තර ප්‍ර‍කාශයට පත් කිරීමේ අරමුණින් මෙම උත්සවය පැවැත්විණ.

කොළඹ බ්ලූමැන්ඩල්හි පිහිටි ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ මූලික ව්‍යාපාර වන්නේ නෞකාවලට සපයන ඉන්ධන ගබඩා කිරීම සහ මුහුදේදී නෞකාවලට ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට ඉන්ධන සැපයීම වේ.

HFO 380, HFO 180 සහ MGO ඉන්ධන ගබඩා කළ හැකි විශාල ටැංකි 13ක් මෙම සමාගම සතුය. එහි සම්පූර්ණ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 35 000ක් වේ. එම සමාගම 2015 වසරේදී ලැබූ ලාභය රුපියල් මිලියන 36ක් වේ. 2016 වර්ෂයේදී එම ලාභය මිලියන 77 කි. එහිදී 2015 වසරට සාපේක්ෂව 2016 වර්ෂයේදී තම විකුණුම් වියදම රුපියල් මිලියන 96 සිට 92 දක්වාද, පරිපාලන වියදම රුපියල් මිලියන 64 සිට මිලියන 55 දක්වා අඩු කිරීමටද සමාගම සමත්ව සිටී.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙන්නේ ආයතනය සුරකීම මුල්තැනට ගෙන කළමනාකරණ සැකසුම් සැකසීම මෙම ජයග්‍රහණයන්ට හේතු වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *