2017 අයී සී සී ශූරයන්ගේ කුසලානය පකිස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – 2017 ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට පකිස්ථානය සමත්විය. ඒ ඉන්දියාව සමග ඊයේ(18) පැවති අවසන් මහා තරගය ලකුණු 180 කින් ජයග්‍රහණය කරමිනි.

ඉන්දීය නායකයාගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 දී කඩුලූ 04කට ලකුණු 338 ක් රැස් කළේය.

සිය පළමු තරගාවලියට සහභාගි වන ෆකර් සමාන් එහි දී සිය මංගල ශතකය රැස් කිරීම ද විශේෂත්වයකි.

ලකුණු 339ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 30 යි පන්දු 03ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 158ක් පමණි. එහි දී සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වෙමින් හර්දික් පාණ්ඩියා හයේ පහර 06ක් සමග පන්දු 43ක දී ලකුණු 76ක් රැස් කළේය.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 22 සීමාව පසුකර යාමට නොහැකි විය.

ඉන්දීය ඉනිමේ මුළ සිටම පකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි.

ඉන්දීය ඉනිමේ පළමු කඩුලූ 03 ලකුණු 33ක් තුළ බිද වැටුණි. තවත් කඩුලූ 03ක් තවත් ලකුණු 39ක් තුළ බිද වැටීමත් සමග ඉන්දීය කණ්ඩායමට පරාජයේ දොරටු විවර විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් අමීර් ලකුණු 16කට කඩුලූ 03ක් බිද හෙළීය.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ සිටි ශිකර් දවාන්, රෝහිත් ශර්මා සහ විරාත් කෝලි අමීර්ගේ පන්දු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් වේ.

හසන් අලී ලකුණු 19කට කඩුලූ 03 යි. ඔහු විසින් ජස්ප්‍රිට් බුම්රාගේ කඩුල්ල දවා ගැනීමත් සමග බොහෝ කාලයක් පාකිස්තානය බලා ගෙන සිටි ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට හැකි විය.

පකිස්තානය යනු මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇති බවට කිසිවෙකුත් අනාවැකියක් හෝ පල නොකල කණ්ඩායමකි. ඔවුන් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ ද අවසන් මොහොතේය.

ඒ, ශ්‍රේණිගත කිරීමේ අට වන ස්ථානයේ හෙවත් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම ලෙසය.

තරගාවලියේ පකිස්තානය සහභාගි වූ පළමු තරගයේ දී ඔවුන් ඉන්දියාව හමුවේ ලකුණු 124කින් පරාජයට පත්විය.

අවසානයේ ඉන්දියාවම පරාජය කරමින් පකිස්තානය, ශූරයින්ගේ කුසලානය ඉතිහාසයේ පළමු වරට දිනා ගත්තේය.

මෙවර ශූරතාවය දිනා ගත් පකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් හය දෙනෙකුම මෙතෙක් එක්දින තරග 50 සීමාවත් පසු කර නොතිබීම ද විශේෂත්වයකි.

අවසන් තරගයේ වීරයා ලෙස ෆකර් සමාන් සම්මාන දිනා ගත් අතර හසන් අලී තරගාවලියේ වීරයා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *