(කොළඹ, ලංකාපුවත්) – මුතුරාජවෙල අභය භූමියට කැළි කසල බැහැර කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ලබන 20 වන දින තෙක් එම ප්‍රදේශයට කසළ බැහැර නොකළ යුතු බවට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් හා උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල විසින් නියෝග නිකුත් කර ඇත.
මුතුරාජවෙල අභය භූමියට කොළඹ මහනගර සභාව මගින් කසළ බැහැර කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉකුත් 14වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබුණි.
කොළඹ නගරය තුළ එකතු වන කැලි කසල මුතුරාජවෙල ප්‍රදේශයට බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්, පරිසරවේදීන් සහ ආගමික නායකයින්ද දැක්වූයේ දැඩි විරෝධයකි.
මේ නිසා මීගමු කලාප ප්‍රදේශය සහ මුතුරාජවෙල ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට ද බලපෑම් එල්ල වී ඇත.
මේ අතර ඊයේ (04) මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරුණේ මුතුරාජවෙල දෑලතුර ප‍්‍රදේශයට කැළි කසල බැහැර කිරීම ලබන සිකුරාදායින් පසු නතර කිරීමටය.