ලන්ච් ෂීට් සිලි සිලි බෑග් අද සිට තහනම් – ඊට විකල්පයක් කැළණිය සරසවියෙන්

(කොළඹ, ලංකාපුවත්) – පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදක කිහිපයක් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම අද (01) සිට තහනම් වේ.

ඒ අනුව අද සිට තෝරාගත් පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනමට ලක් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය.

පරිසර සුරක්ෂිත වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාවට නංවන බව ඔහු සදහන් කළේය.

කෙසේ වෙතත් අද සිට පොලිතීන් තහනම් වන බවට ප්‍රකාශයට පත් වුවද එය එළඹෙන ජනවාරිය තෙක් ක්‍රියාත්මක නොවන බවට බලධාරින් දැනුම්දී ඇති බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රී කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා කියා සිටියේය.

 

මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පවසන ලද්දේ උත්සව සඳහා පොලිතින් වලින් කරනු ලබන සියළුම සැරසිලිද තහනම් බව ය. පරිසරයට අහිතකර මෙම නිෂ්පාදන වලින් ඈත්ව පරිසර හිතකාමී නිෂ්පාදනයන් සඳහා යොමුවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර තහනම් කෙරෙන පොලිතීන් නිෂ්පාදන වෙනුවට භාවිත කළ හැකි විකල්ප නිෂ්පාදනයක් කැළණිය විශ්ව විද්‍යාලය ඊයේ(31) එළිදක්වන ලදි.

එම විශ්ව විද්‍යාලයේ තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ ආචාර්ය යූ පී කේ ඈපා මහතා පැවසුවේ
මෙම පියවර ඉතා හොඳ පරිසරයට හිතකාමී මානවයාට හිතකාමී ක්‍රියාවක් බවය. නැවත නැවත භාවිත කළ හැකි පසුම්බියේ පවා ගෙනගිය හැකි පරිසර හිතකාමී නිෂ්පාදනයක් තම විශ්වවිද්‍යාලය හඳුන්වා දී ඇතැයි පැවසූ ඔහු එය දැනට විශ්ව විද්‍යාල ප්‍රජාව අතර ප්‍රචලිත කර ඇතැයිද, ඉදිරියේදී එය රටටම හඳුන්වා දෙන බවද පැවසීය.

තහනම් කෙරෙන පොලිතීන් නිෂ්පාදන වෙනුවට විකල්ප නිෂ්පාදන කිහිපයක් මේ වනවිටත් වෙළඳ පොලට හඳුන්වා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය ද සදහන් කළේය.

මෙම වැඩපිළිවෙලේ පවතින ජාතික වගකීම වටහාගෙන බඩු ගෙන ඒමට යාමේදී පරිසර හිතකාමී මල්ලක් රැගෙන යන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි. විකල්ප නිෂ්පාදන ඉතා ඉක්මණින් වෙළඳපොල තුළ ප‍්‍රචලිත වනු ඇතැයි ද විශ්වාසය පළ කෙරේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *