ලාංකේය අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගිය මහාචාර්ය ගුණපාල මලලසේකර සූරීන් විශිෂ්ට යුග පුරුෂයෙක්

(කොළඹ, ලංකාපුවත්) –මහාචාර්ය ගුණපාල මලලසේකර සූරීන් ගුණානුස්මරණ උත්සවය ඊයේ(14) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ගුණපාල මලලසේකර මහතාගේ චරිතාපදානය වර්තමාන තානාපතිවරුන් ද ඇතුළු රාජ්‍ය තාන්ත‍්‍රික දූත මණ්ඩල සාමාජිකයන්ට මහත් ආදර්ශයක් බව සදහන් කළ ජනාධිපතිතුමා බණ්ඩාරනායක මැතිතුමාගේ මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයමින්, ක‍්‍රියාත්මක කිරීමට ගුණපාල මලලසේකර මහතා කළ කැපවීම ද සිහිපත් කළේය.එමෙන්ම මලලසේකර මහතා රටේ ගෞරවය ජාත්‍යන්තරය වෙත ගෙන යමින් රටට කීර්තියක් අත් කරදුන් අසමසම විද්වතෙකු බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

1957 වසරේදී විදේශ තාන්ත‍්‍රික සේවාව සදහා මෙරටින් බැහැර වන ගුණපාල මලලසේකර මහතා පසුව ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සමාරම්භක සභාපති ලෙස කටයුතු කළ අතර අනතුරුව යුනෙස්කෝ සංවිධානයේ ලුම්බිණි ප‍්‍රතිෂ්ඨාපන කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

එමෙන්ම ලෝක හා කලාපීය සම්මේලන රාශියකට සහභාගී වූ මලලසේකර මහතා මෙරට මෙන්ම ජාත්‍යන්තර සංවිධානයන් හි සාමාජිකත්වය ද දරමින්, අනතුරුව එක්සත් රාජධානියේ ලංකා මහ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කරමින් මෙරටට අමිල සේවයක් කළ යුග පුරුෂයෙකි.

ගුණපාල මලලසේකර මහතාගේ මෙහෙවර අගයමින් ජනාධිපතිතුමා විසින් මලලසේකර මහතාගේ පිළිරුව වෙත මල්දමක් පළඳවා හරසර දැක්වීය.

අනතුරුව ගුණපාල මලලසේකර පදනමේ සභාපති, විජය මලලසේකර මහතා විසින් ගුණපාල මලලසේකර මහතාගේ චරිතාපදානය ඇතුළත් “මහැදුරු ගුණපාල මලලසේකර – පුනරුදයේ පෙරගමන්කරු” ග‍්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල මාහිමි, බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල විමලරතන නායක මාහිමිපාණන්, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිපාණන් ඇතුළු මහාසංඝරත්නය හා ආචාර්ය සරත් අමුණුගම, අනුර ප‍්‍රියදර්ශන යාපා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා යන අමාත්‍යවරුන්, විද්වතුන් සමග විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *